ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් – ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂකවරයා කියයි

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සිදුකරමින් යන වැඩසටහන ප්‍රශංසනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් (Faris H Hadad – Zervos)  මහතා පැවසිය.

එම තත්ත්වය ජනතාවත් දැනුම්වත් කරමින් ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ඒ මහතා සදහන් කළේය.

එමෙන්ම මෙම ආර්ථික අර්බුදය මිනිසා විසින් නිර්මාණය කරන ලද අර්බුදයක් බවද ඔහු පැවසිය.

“යළි පිබිදෙන ශ්‍රී ලංකාව, හරිත ඔරොත්තු දීමේ හැකියාව ඇති සහ සියලු දේ ඇතුළත් සංවර්ධනයක් ” යන මැයෙන් ඊයේ (18) පැවති ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ Press Club  වැඩසටහනට එක්වෙමින් ඔහු මෙසේ පැවසිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගුකාලීනව සලසන මූල්‍ය පහසුකම ලබාගැනීමට සමත් වීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම, සහ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ජාත්‍යන්තර මූල්‍ය සහය ලබාගැනීමට සමත් වීම ආදී සාර්ථකත්වයන් ගැන, ශ්‍රී ලංකා රජයට සුභ පතන බව මෙහිදී ආරාධිත දේශනය පවත්වමින් Faris H Hadad – Zervos මහතා සදහන් කළේ ය.

යහපත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් බලවත් ප්‍රතිසංස්කරණ ඇතුළත් න්‍යායපත්‍රයකට අනුව යම් යම් අසීරු හා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට රජය ක්‍රියා කිරීම ප්‍රශංසනීය බවත් , බදු ප්‍රතිසංස්කරණයන්, පිරිවැය පිළිබිඹු වන ආකාරයෙන් උපයෝගීතා මිල ගණන් නියම කිරීම්, සවිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ස්ථාපිත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදිය මේ මොහොතේ රජය සිදුකළ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එසේ වුව ද සංවර්ධනය, ආදායම, සහ රැකියාවන් පිළිබඳ අර්බුදය හේතුවෙන් අනාගතයේ දී මතු විය හැකි බියකරු අනිටු බලපෑම් ගැන ද අපට දැඩි කනස්සල්ලක් පවතින අතර තවදුරටත් අර්බුදය පවතින විට, රට වැසියන් වැඩි වැඩියෙන් රට හැර යන තත්ත්වයක් උදා විය හැකි බව ද ප්‍රකාශ කළේය.

අසීරුතාවන්ට මුහුණපාන පවුල්, සිය දරුවන් පාසල්වලින් ඉවත් කරගැනීමට ද ඉඩ ඇති අතර තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් තම වත්කම් විකුණා දැමීමට සමාගම් විසින් තීරණය කළ හැකි බවද හෙතෙම පැවැසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කිය.

“බලාපොරොත්තු නොවු අර්බුදයකට ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදෙමින් සිටිනවා. අපහසු තීන්දු තීරණවලට එළැඹීමට සිදුවෙයි. නමුත් හරි වේලාවේ මේ තීන්දු තීරණවලට එළැඹීමට සිදුවෙනවා. ඉල්ලීමක් කරන්න තිබෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙල ඒ විදියටම කරගෙන යන්න. එයයි මේ වෙලාවේ වැදගත්. කරුණාකර ඇත්ත කතා කරන්න. මේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි හරි දේ කරන කාලයයි මේ. වෙලාව ඇවිත් ශ්‍රී ලංකාවට නැවතත් හිස ඔසවන්න.”

නිර්මාණි ගුණරත්න