සෑම රටකම සිරකරුවන් ඔවුන්ගේ මව්බිමට ආපසු යෑමට පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමට පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සිරමැදිරිවල සිටින පකිස්ථාන පුරවැසියන් 43 දෙනකු නැවත ඔවුන්ගේ රටට යැවීමේ ක්‍රියාපටිපාටිය පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍ර ශ්‍රී විජය ගුණරත්න සහ එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොහ්සින් නක්වි සමඟ පැවති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාවයේ කොටසක් බවයි වාර්තා වන්නේ.

මෙම හමුවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සහ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ආරක්‍ෂක සහ මත්ද්‍රව්‍ය විරෝධී ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීමට ද දෙපාර්ශවය එකඟ වී ඇත.

මෙරට සිරගත කර සිටින පාකිස්ථාන සිරකරුවන් 43 දෙනා ආපසු ගෙන්වා ගැනීම සඳහා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගිය මාසය පුරා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටි අතර මේ සම්බන්ධයෙන් හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහතික වී ඇත.

සිරකරුවන් ආපසු ගෙන්වාගැනීම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා, මෙරට මහ කොමසාරිස්වරයාට ස්තූතිය පළ කොට ඇති අතර පසුව එරට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පාකිස්ථාන සිරකරුවන් ආපසු පැමිණීමේ විධිවිධාන දින කිහිපයක් ඇතුළත අවසන් කරන බවයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සබඳතා පසුගිය දශක හතක කාලය තුළ ශක්තිමත්ව ඉදිරියට ගිය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.