ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 02ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 42ක් තුළ කඩුලු 07ක් දැවි ලකුණු සංඛ්‍යාව 252ක් රැස් කළේය.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 86ක් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 47ක් රැස් කළහ. පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 03ක් සහ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 02ක් බිඳහෙළීය.

තරගය වර්ෂාව එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා වූ අතර, ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 252කි.

ඒ අනුව ලකුණු 252ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 අවසානයේ කඩුලු 08ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 91ක්, චරිත් අසලංක ලකුණු 49ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 48ක් රැස් කළහ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගය එළඹෙන ඉරිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.