නැගී එන කණ්ඩායම්හි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 60කින් පරාජයට පත් කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන A කණ්ඩායම අද (21) සමත් විය.

තරගය ජය ගැනීම සදහා ලකුණු 323ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.4කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 262ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්ක පන්දු 85කින් ලකුණු 97ක් රැස් කළ අතර මැද පෙල ශක්තිමත් කළ සහන් ආරච්චිගේ රැස් කළ ලකුණු සංඛ්‍යාව ද 97කි.

පන්දු යැවීමේ දී Arshad Iqbal සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 37කට කඩුලු 5ක් දවා ගත්තේය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Omair Yousuf ලකුණු 88ක් රැස් කළේ පන්දු 79 කිනි. ඊට අමතරව Mohammad Haris ලකුණු 52ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන්, ප්‍රමෝද් මදුෂාන් හා චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිද හෙළීය.