ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

මෙම තරග පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 09වැනි ස්ථානය දක්වා පහත වැටුණු අතර, සහභාගිවූ තරග තුනම පරාජයට පත්ව සිටියි.

කාසියේ වාසිය හිමි කරගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 43.3කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කර ගත්තේ ලකුණු 209ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වන කුසල් ජනිත් (78) සහ පැතුම් නිස්සංක (61) අර්ධ ශතක රැස් කළහ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් සම්පා ලකුණු 47කට කඩුලු 04ක් දවාගත්තේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගයේදී මිචෙල් මාෂ් (52) සහ ජොෂ් ඉංග්ලිෂ් (58) අර්ධ ශතක වාර්තා කළ අතර ඔවුන් පන්දුවාර 35.2 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 215ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඩිල්ශාන් මධුශංක ලකුණු 38කට කඩුලු 03ක් දවා ගත්තේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ 26වැනි එක්දින තරග නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේය.