සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර 03වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගනිමින් එංගලන්තයට එරෙහිව පළමු විස්සයි-20 තරගාවලි ජය වාර්තා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර, ඒ අනුව එංගලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 116ක් පමණි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 21කට කඩුලු 03ක්, උදේශිකා ප්‍රබෝධිනී සහ කවීෂා දිල්හාරි ලකුණු 16කට කඩුලු 02 බැගින් බිඳහෙළුහ.

අනතුරුව ලකුණු 117ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 17කදී කඩුලු 03ක් පමණක් දැවී එම ඉල්කකය පසුකර ගියහ. එහිදීද ශ්‍රී ලංකා නායික චමරි අතපත්තු පන්දු 28කින් ලකුණු 44ක් රැස් කළාය. ඊට අමතරව අනුෂ්කා සංජීවනී ලකුණු 20ක් සහ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26ක් රැස් කළහ.

අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය.

ශ්‍රී ලංකා-එංගලන්ත තරග 03කින් යුත් එක්දින තරගාවලිය අනිද්දා (09) ආරම්භ වීමට නියමිතය.