ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායම අනිද්දා (09) දිවයිනට පැමිණීමට නියමිතය. ඊට පෙර පාකිස්තාන නායක බබාර් අසාම් මාධ්‍යට අදහස් දැක්වීය.

එහිදී ඔහු පවසා සිටියේ මිකී ආතර් වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නිසා ඔහුගේ දායකත්වයෙන් පාකිස්තාන කණ්ඩායමට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවයි.

“මිකීට ශ්‍රී ලංකාවේ තත්ත්වයන් පිළිබඳ දැනුමක් තියෙනවා. ඔහුගේ අත්දැකීම් ඉදිරි තරගමාලාව සඳහා සූදානම් වීමට අපට තවදුරටත් උපකාරී වේවි” යනුවෙන් බාබර් පැවසීය.

මිකී ආතර් පාකිස්තාන ජාතික කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගාවලියයි.

තරගාවලියේ පළමු තරගය ජූලි 16වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24වැනිදා කොළඹ SSC පිටියේදී ආරම්භ වේ.