ඉන්දියානු රුපියල් කෝටි 1000 ඉක්මවූ බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත් අතිසාර්ථක චිත්‍රපට 2කින් පසුබොලිවුඩයේ රජුශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වුණු Dunki නරඹන්නට ලොවපුරා රසිකයින් පසුවුණේ ඉතාමත් නොඉවසිල්ලෙන්. Dunki යනු කිසි දිනක අසාර්ථක චිත්‍රපටයක් ප්‍රෙක්ෂකයින්ට දායාද නොකළ රාජ් කුමාර් හිරානිගේ නිර්මාණයක් වීම, එම උද්යෝගය කිහිප ගුණයකින් වැඩි කිරීමට හේතු වී තිබුණා. තිරගත වන දිනය වරින් වර වෙනස් වුවත් ප්‍රේක්ෂකයන්ගේ බලා හිඳීමේ කාලය හමාර කරමින් Dunki පසුගිය 21වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළා. 2018 නිකුත් වූ Zero චිත්‍රපටයේ අසාර්ථකත්වය නිසාම කලක් රිදී තිරයෙන් ඉවත්ව සිටි ශාරුක් ඔහුගේ නැවත ආගමනය සනිටුහන් කළේ ක්‍රියාදාම වීරයෙකු ලෙසින්. ලොවපුරා රසිකයින් Pathaan චිත්‍රපටය වැළඳගෙන තිබුණේ, එය YRF spy universe හි සාර්ථකම චිත්‍රපටය මෙන්ම ශාරුක් ඛාන්ගේ සිනමා දිවියේ ද ඉහළම ආදායම ලබාගත් චිත්‍රපටය බවට පත් කරමින්. ඉන් පසු ඇට්ලි කුමාර්ගේ කොලිවුඩ් මසාලා ආරයේ සිනමාකරණය සමග මුසු වුණු ශාරුක්ගේ ක්‍රියාදාම රංගනය 2023 වසරේ අතිසාර්ථකම චිත්‍රපටය වූ Jawan බොලිවුඩයට තිළිණ කරන්නට සමත් වුණා.

බොලිවුඩයේ සිහින කුමරුගේ චරිතයෙන් රසිකයින් හදවත් සොරාගත් ශාරුක් ඛාන්ක්‍රියාදාම වීරයා” (Action hero) චරිතයෙන් සිනමාවේ පුනරාගමනය සනිටුහන් කළත්, ඔහුගෙන් නැවතත් සුපුරුදු ප්‍රේමණීය චරිතය දැකබලාගැනීමට සිහින දකිමින් සිටි රසිකයින්හට අස්වැසිල්ලක් වන්නට Dunki සමත් වනවා. පසුගිය කාල සීමාව පුරාවටම දකින්නට ලැබුණු දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ සහ විදේශීය සහ දකුණු ඉන්දියානු චිත්‍රපට ප්‍රතිනිර්මාණ හේතුවෙන් මැකී යමින් තිබුණු බොලිවුඩ් අනන්‍යතාවය නැවතත් තිරයට ගෙන එන්නට, රාජ් කුමාර් හිරානිගේ සුපුරුදු සිනමාකරණය සමත් ව ඇති බව කිව යුතුයි. Dunki රාජ් කුමාර් හිරානිගේ චිත්‍රපට වලින් තරමක් වෙනස් එකක්. හිරානිගේ ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවූ PK හෝ Munna Bhai චිත්‍රපටවල අත්දැකීම Dunki තුළින් දකින්නට නොලැබීම නිසා චිත්‍රපටයේ රාජ් කුමාර් හිරානි සන්නාමයට වඩා ශාරුක් ඛාන් සන්නාමය කැපී පෙණුනු බවයි පෙනෙන්නට තිබුණේ.

කලක් තිස්සේ බොලිවුඩ් රසිකයාට මඟහැරී තිබුණු ශාරුක් ඛාන්ගේ සුපුරුදු ප්‍රේමණීය රංගනය අඩුපාඩුවකින් තොරව විඳින්නට Dunki ඉඩ සලසා තිබුණා. වසර 21ක වයස පරතරයක් ඇති ශාරුක් සහ තාප්සී පන්නු තිර පෙම්වතුන් යුවළක් ලෙස කෙතෙරම් දුරට ගැලපේවිද යන්න පිළිබඳ සැකයක් තිබුණත්. එවැනි අඩුපාඩුවක් කිසිසේත් දකින්නට ලැබුණේ නැහැ. තාප්සි පන්නු මෙන්ම ගරු රංගනයෙන් දායක වූ විකී කෞෂාල් ද ඉහළ මට්ටමේ රංගනයක් ඉදිරිපත් කර තිබුණා. රාජ් කුමාර් හිරානිගේ චිත්‍රපටවල සාර්ථකත්වයේ නිහඩ කොටස් කරුවා වන බෝමන් ඉරානිගෙන් Dunki චිත්‍රපටයට මීට වඩා වැඩි යමක් ලබා ගන්නට තිබූ බවයි අපගේ හැඟීම. අති දක්ෂ නළුවකු වන ඔහුගෙන් ගරු රංගනයකට වැඩි යමක් දකින්නට නොලැබීම විශේෂයෙන් හිරානිගේ චිත්‍රපට සියල්ලම නැරඹූ රසිකයින්ට විශාල බලාපොරොත්තු කඩවීමක් වන්නට ඇති. කෙසේ වෙතත්, සමස්තයක් ලෙස චිත්‍රපටයේ රංගන ශිල්පීන් සියළු දෙනා තම චරිත උපරිමයෙන් නිරූපණය කර ඇති බවයි කිය හැක්කේ. ඒ වාගේම අමන් පන්ත්ගේ පසුබිම් සංගීතයෙන් සහ ප්‍රීතම්ගේ සුමියුරු ගීතවලින් Dunki අපූරුවට හැඩ වී තිබුණා. විශේෂයෙන් අරිජිත් සිං ගායනා කළ “Lutt Putt Gaya” සහ “O Maahi” ගීත ද්විත්වය චිත්‍රපටයට එක්කර තිබුණේ අමුතුම මිහිරියාවක්.

Dunki  චිත්‍රපටය CIA (2017) මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් බව චිත්‍රපටය නිකුත් වීමට පෙර සිට ඇතමුන් ප්‍රකාශ කර තිබුණු නමුත්, රාජ්කුමාර් හිරාණි එය එසේ නොවන බවත් Dunki සත්‍ය සිදුවීම් පාදක කර ගනිමින් නිර්මාණය කළ චිත්‍රපටයක් බවත් ප්‍රකාශ කළද විශේෂයෙන් දකුණු ඉන්දියානු ප්‍රජාව එය පිළිගන්නට සූදානම් වුණේ නැහැ. පසුව හිරානි “Dunki Diaries” නමින් Dunki නිර්මාණයේ පසුබිම පිළිබඳව යූ ටියුබ් හි වීඩියෝ පෙළක් ද පළ කර තිබුණා. ඩන්කි යනු ඉන්දියානුවන් නීති විරෝධීව දේශ සීමා සංක්‍රමණය කිරීම හඳුන්වන වචනයයි. එංගලන්තය, කැනඩාව, ඇමරිකාව වැනි රටවල් වෙත ඉන්දියානුවන් හා පාකිස්ථානුවන් නීතිවිරෝධීව සංක්‍රමණය වීමට යොදාගන්නා “Donkey flight” යන නීති විරෝධී සංක්‍රමණ ක්‍රමය පාදක කරගනිමින් රාජ් කුමාර් හිරානි, අභිජිත් ජෝෂි සහ කානිකා ඩිලන් විසින් තිර රචනය කරන ලද Dunki එම කරුණූ ඉතා හොඳින් ගවේෂණය කර ගොතනු ලැබූ සාර්ථක වියමනක් ලෙස හැඳින්වීම නිවැරදියි. එමෙන්ම චිත්‍රපටයේ දෙබස් රචනය ද ඉතා ඉහළ මට්ටමක පැවති අතර, පංජාබ් සහ ඉංග්‍රීසි භාෂාව ඒ මේ අත හරවා හාස්‍ය මතු කර තිබූ ඇතැම් දෙබස් හින්දි සිනමා රසිකයින්ට අපූරු අත්දැකීමක් වනවා නොඅනුමානයි

ඉන්දියානු රුපියල් කෝටි 120ක පමණ පිරිවැයකින් තැනුණූ Dunki ශාරුක් ඛාන්ගේ මීලඟ කෝටි 1000 චිත්‍රපටය වනු ඇති බවට රසිකයින් අනාවැකි පළ කළත්, Dunki ගමන කෝටි 600කට මෙපිටින් නවතිනු ඇති බවටයි අප අනුමාන කරන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 58ක පළමු දින ආදායමක් ලැබූ Dunki දින 5ක් අවසානයේ ලොවපුරා තිරගත කිරීමෙන් කෝටි 256  ක ආදායමක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව, රාජ් කුමාර් හිරානිගේ නම ඉදිරියේ තවත් සාර්ථක චිත්‍රපටයක හිමිකාරිත්වය ලියැවී අවසන් බවයි පෙනෙන්නට ඇත්තේ. එකිනෙකට සංසන්දනය කිරීම අසීරු වුවත්, මෙම වසරේ නිකුත් වූ ශාරුක් ඛාන්ගේ Jawan සහ Pathaan චිත්‍රපටවල අන්තර්ගතයට වඩා හොඳ අන්තර්ගතයකින් සමන්විත බව කිව හැකි Dunki චිත්‍රපටය අප හට පෙන්වා දෙන තවත් කරුණක් තිබෙනවා. එනම්, බොලිවුඩ් ප්‍රේක්ෂකයා ද කෙමෙන් දකුණු ඉන්දියානු මසාලා පන්නයේ සිනමාවේ ගොදුරක් බවට පත්වෙමින් තිබෙන බවයි. ඉතිහාසයේ සිට බොලිවුඩය සිනමාවේ සාර්ථක වූයේ රිදී තිරයේ ප්‍රේමය සිත්තම් කිරීමේ අපූර්වත්වය හේතුවෙන්. මේ වනවිටත් වැඩිම පිරිසක් නැරඹූ (Highest footfalls) චිත්‍රපටය ලෙස වාර්තා වන්නේ Hum Aapke Hain Kaun (1994) චිත්‍රපටය වීමම ඊට හොඳ නිදසුනක්. හින්දි සිනමාව තුළ ප්‍රේමය (Romance) සතුව තිබූ කිරුළ කෙමෙන් ප්‍රචණ්ඩත්වය (Violence) කරා විතැන් වීම බොලිවුඩයේ අනාගතයට කෙසේ බලපාවිද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතුකරනවා. Dunki සමඟ තිරගත කිරීම ඇරඹූ සුපිරි නළු ප්‍රභාස් රඟන Salaar චිත්‍රපටය වෙනුවෙන් Dunki  සඳහා වෙන් කළ දර්ශන අවලංගු කිරීම දකුණු ඉන්දියාවෙන් මෙන්ම උතුරු ඉන්දියාවෙන්ද වාර්තා වීම විශ්වාස කළ නොහැකියි. වැඩිහිටියන්ට පමණක් සීමාවූ Animal වැනි චිත්‍රපටයක් කෝටි 900කට ආසන්න ආදායමක් ලබාගනිමින් තවමත් සාර්ථකව තිරගත වීම දල්වන්නේ ද එම රතු එළියයි. කෙසේ වෙතත් කලකට පසු ප්‍රේමයේ රජු ශාරුක් ඛාන් නැවතත් රිදී තිරයේ කිරුළු පළඳින, රාජ් කුමාර් හිරානිගේ නවතම සිනමාත්මක මායාවේ අතරමංවන්නට බොලිවුඩ් ප්‍රේක්ෂක ඔබ තවත් පමා නොවිය යුතු බව කිව යුතුමයි.

  • උමේෂ් ද සිල්වා