ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් Pathaan හා Jawan චිත්‍රපට ද්විත්වය ලැබූ සාර්ථකත්වය හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් හට මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා.

ශාරුක් විසින් මේ සම්බන්ධයෙන් රජයට පැමිණිලි කිරීමෙන් පසු, ඔහු වෙත ලබා දී තිබූ ආරක්ෂාව Y+ තත්ත්වය දක්වා තර කිරීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. Y+ තත්ත්වයේ  ආරක්ෂාවක් ලබා දෙන්නේ ඉතා ඉහළ ජීවිත අවදානමක් පවතින පුද්ගලයන්ට වන අතර. මේ අනුව, දැනට සිටින ආරක්ෂකයන්ට අමතර ව තවත් පෞද්ගලික ආරක්ෂකයින් 6 දෙනෙකු සමග නිවසේ ආරක්ෂාව සඳහා සන්නද්ධ භටයින් 5 දෙනෙකු සහ පෙර ගමන් රථයක් (Traffic clearance vehicle) සේවයේ යෙදවීමට කටයුතු කරනු ඇති. ප්‍රාන්ත ආරක්ෂක ප්‍රධානීන් මේ පිළිබඳව තීරණයක් ගන්නා තුරු අමතර ආරක්ෂකයින් යෙදවීම වෙනුවෙන් වන වියදම පෞද්ගලිකව දැරීමට ශාරුක්ට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

Pathaan චිත්‍රපටයේ “Besharam Rang” ගීතය මගින් හින්දු ආගමට අගෞරව කරන බව පවසමින් හා Online ක්‍රීඩාවක් සම්බන්ධ වෙළඳ දැන්වීමක පෙනී සිටීම හේතුවෙන් තරුණ පරපුර විනාශ කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් මෙම වසරේදී ම අවස්ථා දෙකක දී මෙම සුපිරි නළුවා හට මරණීය තර්ජන එල්ල වී තිබුණා.