නීතිවිරෝධී භාණ්ඩ රැසක් ගුවන් තොටුපොළෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වන තෙක් පාර්ලිමේන්තු කමිටු නියෝජනය කිරීම වළක්වාලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායකවරයාගෙන් සිදු කළ ඉල්ලීම කතානායකවරයා පිළිගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් මහතා විසින් පසුගිය මැයි 23 වැනි දින රත්රං කිලෝග්‍රෑම් 3ක් සහ ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විදේශයක සිට මෙරටට ගෙන ඒමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී හසුවූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදු කිරීම සඳහා යොමු කර ඇති පසුබිමක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එම විමර්ශන කටයුතු සිදුවන තෙක් ඔහු පාර්ලිමේන්තු කමිටු නියෝජනය නොකල යුතු බවට වන යෝජනාවක් කතානායකවරයාට පසුගිය සැප්තැම්බර් 6 වැනිදා ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව කතානායකවරයා විසින් එම යෝජනාව පිළිගෙන විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු කමිටු නියෝජනය කළ නොහැකි ලෙස වාරණයක් පමුණුවා තිබේ.