දකුණු ගාසා තීරයෙහි සිටින විදේශිකයන්ට ඉන් පිටවීම සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊජිප්තුව, ඊශ්‍රායලය සහ අමෙරිකාව දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වූ බව ත් ඊජිප්තුවේ වේලාවෙන් උදෑසන 9:00 සිට පැය කිහිපයක් විදේශිකයින්ට පිට වීමට සහ ආධාර ලබා ගැනීමට රෆා පිවිසුම් මාර්ගය විවෘත කර ඇති බවත් සඳහන් වේ.

නමුත් එම මාර්ගය දැනට වසා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට පෙර ගාසා තීරයෙන් පිටවීමේ බලාපොරොත්තුවෙන් දහස් ගණන් ජනතාව දකුණු ගාසා තීරයේ රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගාසා තීරයේ සිටින එක්සත් ජනපද ජාතිකයන්ට රෆා හරස් මාර්ගයෙන් පිටවීම සඳහා එය ඕනෑ ම වෙලාවක විවෘතව පවතින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කර තිබේ.

හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ 2,700 කට ආසන්න පුද්ගලයන් සංඛාවක් මිය ගොස් තිබේ.