සත්ත්ව පාලන කටයුතු වල දී භාවිත කරන ඖෂධ මිල ඉහළ යාම පාලනය කිරීමට වැඩපිළිවෙළක් හදන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

ඖෂධ මෙරටට ආනයනය කරන මිල හා අලෙවි කරන මිල අතර පවතින පරතරය සොයා බැලීම සදහා තමන්ට මිල ගණන් පිළිබඳ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

 සත්ත්ව ඖෂධ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහලයාම පාලනය සඳහා  වැඩ පිළිවෙළක් යොදන්නැයි පශු වෛද්‍ය පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ගවයින්, ඌරන්, බැටළුවන්, එළුවන් හා කූකුළන් වැනි සතුන් පාලනයේ දී එම සතුන්ට බෝවන රෝග සඳහා අනිවාර්යයෙන්ම ඖෂධ වර්ග භාවිත කළ යුතු යැයිද  එම ඖෂධ මිල කිහිප ගුණයකින් ඉහල ගොස් ඇතැයි  පශු වෛද්‍යවරුන් පවසා ඇත.

ඖෂධ මිල පාලනය සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් පියවර ගත යුතුව තිබෙන බවත්  කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ සඳහා බලයක් නැති නමුත්  ඖෂධ ආනයන මිල හා අලෙවි මිල අතර පවතින පරතරය හඳුනා ගත යුතුව ඇති බවත් කෘෂිකර්ම  අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.