සමනළ වැව, රන්ටැඹේ, සහ වික්ටෝරියා යන ජලාශ විකිණීම සම්බන්ධව විදුලිබල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනැවිත් නොමැති බව මහින්ද අමරවීර අද (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය එවැනි සාකච්ඡාවක් සිදු කර නොමැති අතර කිසිම ආකාරයකට ජලාශයක් කිසිම රටකට හෝ මේ රටේ අයෙකුට හෝ විකිණීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරන්නේ නැති බව ඇමතිවරයා සඳහන් කර තිබේ.

ඇමතිවරයා මෙසේද සඳහන් කර ඇත.

“ජනාධිපතිතුමාට හා ඇමැතිවරයාට අභියෝග රාශියක් තිබුණා. රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධයක් නිසා ජාත්‍යන්තර වෙළඳ පොළේ මිල වැඩි වුණා. දැන් ඊශ්‍රායල් පලස්තීන ගැටුමක් ඇති වෙලා. පැය 13ක් විදුලිය කපලා අසරණ වුණා ජනතාව. ඉන්ධන පොලිම්වල ගිහින් මිනිසුන් මැරුණා. රට අකර්මණ්‍ය වෙලා තිබුණා. ඒ වෙලාවේ සාකච්ඡා කර තීන්දුවක් ගත්තා, පාරිභෝගිකයාට අසාධරණයක් නොවන ලෙස අඛණ්ඩව ඉන්ධන විදුලිය ලබාදෙන්න කටයුතු කළා .නැව තියෙනව ඉන්ධන ගන්න බැරුව හිටියා. ඉන්ධන සඳහා ගෙවන සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට ගන්න සිදු වුණා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. විදුලි බිල දැන් ගෙවා ගන්න අමාරු බව දන්නවා. හොඳ වර්ෂාපතනයක් තියෙනවා. හොඳ අවස්ථාවක් විදුලියට. එකපාර මිල අඩු කරන්න පුළුවන් වෙයි කියලා කියන්න බෑ. යම් සහනයක් ලැබෙනවා නම් ඒ සහනය අනිවාර්යෙන්ම ජනතාවට ලබාදෙනවා.