ප්‍රජාතන්ත්‍රවාදි දෙමළ ජාතික සන්ධානය විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි  වෙත යැවීමට සකස් කළ ලිපියකට අත්සන් තැබීම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර.සම්බන්දන් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බලකර සිටින්නැයි සදහන් කරමින් එම ලිපිය ලියා ඇති අතර එම ලිපියේ අන්තර්ගතය පිලිනොගනිමින් සම්බන්දන් මහතා එම ලිපියට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇත

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  හමුවීමට නියමිත බව මාධ්‍ය මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබුණු අතර වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර මෙම ලිපිය ඉන්දීය අගමැතිවරයා අතට පත් කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය මෙම ලිපිය සකස් කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර තමිල් මකල් පේසිය කුට්ටනි, ප්ලෝටී, ටෙලෝ, ඊපි ආර්එල්එෆ්, දෙමළ ජාතික පක්ෂය ඇතුලු උතුරේ තවත් සුළු පක්ෂ කිහිපයක් එකතුවෙන් මෙම ප්‍රජාතන්ත්‍රවාදි දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ගැනිණ.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එම නව සන්ධානයේ නම පිළිබදවද සිය දැඩි විරෝධය පළ කර තිබිණි.

රජිනි මෙන්ඩිස්