බොලිවුඩයේ “භායි ජාන්” ලෙස හඳුන්වන සල්මාන් ඛාන් රංගනයෙන් දායක වන “TIGER 3” චිත්‍රපටය නොවැම්බර්  12 වන දා සිට ලොව පුරා තිරගත සූදානමින් පසුවන්නේ YRF SPY Universe හි පස්වැනි දිගහැරුම ලෙසිනුයි. YRF සමාගමේ Action SPY ශානරයේ චිත්‍රපට මාලාවේ ආරම්භය සනිටුහන් කෙරුණේ Ek Tha Tiger (2012) චිත්‍රපටයෙන්, ඉන්දියානු රහස් ඔත්තු සේවා (RAW) නිලධාරියෙකුගේ චරිතයකින් පළමු වරට ප්‍රේක්ෂකයා අතරට පැමිණි සල්මාන් බොලිවුඩ් සිනමාවට “TIGER” නමින් තවත් සදාකාලික චරිතයක් ඉතිරි කරන්නට සමත් වුණා . Ek Tha Tiger චිත්‍රපටය ලද අති සාර්ථකත්වය නිසාම එහි දෙවැනි කොටස Tiger Zinda Hai  නමින් 2017 වසරේදී රිදී තිරයට රැගෙන එන්නට YRF සමාගම කටයුතු කළා. Ek Tha Tiger චිත්‍රපටය ද ඉක්මවා සාර්ථක වූ Tiger Zinda Hai  චිත්‍රපටයෙන් අනතුරුව WAR  (2019) සහ මෙම වසර ආරම්භයේදී තීරගත කෙරුණු Pathan චිත්‍රපටය සමඟින්  YRF සමාගම SPY යුනිවර්සයකට හිමිකම් කියනු ලැබුවා.

බොලිවුඩයේ අන් කිසිඳු රංගන ශිල්පියෙකුට නොදෙවෙනි පෞද්ගලික රසික පිරිසක් (Fan Base) සිටින නළුවෙකු ලෙසයි සල්මාන් සැලකෙන්නේ. සල්මාන් පසුගිය කාලය පුරාවට රංගනයේ යෙදුනු විචාරක ඇගයීම් නොලැබූ සාර්ථක අන්තර්ගතයක් නොමැති චිත්‍රපට පවා අසාර්ථක වීමට (Flop) වීමට ඔහුගේ රසිකයින් ඉඩ තතැබුවේ නැහැ. කිසිම ආකාරයක ආකර්ෂණිය අන්තර්ගතයක් නොතිබූ සල්මාන් අවසන් වරට රඟපෑ  Kisi Ki Bhai Kisi Ki Jaan චිත්‍රපටයද බොහෝ විචාරකයින්ගේ හා රසිකයින්ගේ උපහාසයට පවා ලක් වුවත් එයද ඉන්දියානු රුපියල් කෝටි 200කට ආසන්න ආදායමක් උපයා තිබුණේ පුදුම සහගත ලෙසයි. සල්මාන්ගේ නොවෙනස් රසික ප්‍රජාවට පින් සිදු වන්නට Dabangg (2010) චිත්‍රපටයෙන් පසු නිකුත් වූ චිත්‍රපට අතුරින් Antim (2021) හැර අනෙකුත් සෑම චිත්‍රපටයක්ම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා ගිය නමුත්, බොක්ස් ඔෆීස් හි කැපී පෙනෙන සාර්ථකත්වයක් ලබා ගන්නට එම කිසිඳු චිත්‍රපටයක් සමත් වූ බවක් නම් පෙනෙන්නට නැහැ.

කෙසේ වෙතත්, පසු ගිය දෙවතාවේම ලැබුවාට වඩා ඉහළ සාර්ථකත්වයක් TIGER 3 ලබා ගනු ඇති බවටයි විචාරකයින් මත පළ කරන්නේ. සති කිහිපයකට පෙර නිකුත් කර තිබූ TIGER 3 පූර්ව ප්‍රචාරක පටයට සහ Leke Prabhu Ka Naam සහ Ruaan යන ගීත ද්විත්වයට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිව තිබුණේ එම අනාවැකි සනාථ වන බවට ඉඟි පළ කරමින්.  එමෙන්ම පසුගිය 5 වනදා සිට චිත්‍රපටයේ පූර්ව ටිකට්පත් වෙන්කිරීම් ආරම්භ කර තිබූ අතර, මේ වන විටත් ඉන්දියානු රුපියල් කෝටි 10 ඉක්මවූ ටිකට් පත් ප්‍රමාණයක් විකිණී අවසන් බවයි වාර්තා වන්නේ. විදේශයන්හි යම්කිසි පසු බෑමක් දකින්නට ලැබුණත් මෙම වසර තුළ නිකුත් වු සෙසු බොලිවුඩ් චිත්‍රපටවල පූර්ව ටිකට්පත් වෙන් කිරීම් අතුරින් TIGER 3 මේ වන විට පසු වන්නේ තෙවන ස්ථානයේ.

TIGER 3 කෙරෙහි බලාපොරොත්තු දල්වා ගත හැකි තවත් හේතු කිහිපයක්ම තිබෙනවා. එහි ප්‍රධාන ප්‍රතිවීර චරිතයට (Villain) ඉම්රාන් හාෂ්මි රංගනයෙන් දායක වීම ඉන් ප්‍රධානයි. “ආතිෂ්” නම් ත්‍රස්තවාදියෙකුගේ චරිතයට පණ පොවන ඔහු තමා රඟපාන චරිතය හඳුන්වා තිබුණේ  “හින්දි සිනමාවේ දුර්ලභ ගණයේ වෙනස්ම දුෂ්ට චරිතයක්” ලෙසයි. ලොව පුරා රටවල්වල විහිදුනු සංවිධාන ශක්තියක් ඇති අසාමාන්‍ය මනසක් සතු මේ දුෂ්ටයා දිගු කලක් යන තුරු රසිකයින්ගේ මතකයේ රැඳෙන අපූරු චරිතයක් වනු ඇති බවයි ඉම්රාන් වැඩිදුරටත් පවසන්නේ. මෙම දුෂ්ඨයා රිදී තිරයට ගෙන ඒමට ඉම්රාන් බොහෝ දැඩි කැපවීමකින් කටයුතු කර තිබෙනවා. පූර්ව ප්‍රචාරක පටයේ “ආතිෂ්” චිරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව, එම කැපවීම අපතේ ගොස් නැති බවත පෙනෙන්නට තිබෙනවා.

TIGER 3 නරඹන්නට ප්‍රේක්ෂකයින්ට බල කෙරෙන ප්‍රධානතම හේතුව නම් මේ වන විට ප්‍රසිද්ධ රහසක්. “TIGER” හැරුණු කොට YRF SPY Universe හි අනෙකුත් ප්‍රධානතම චරිත ද්විත්වය වන “Kabir” (රිතික් රෝෂන්) සහ  “Pathaan”(ශාරුක් ඛාන්) ද ගරු රංගනයන්ගෙන් TIGER 3 සමඟ සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ. YRF SPY Universe හි  චිත්‍රපට එකට අමුණන චිත්‍රපටය TIGER 3 වන බවට පූර්ව ප්‍රචාරක පටයෙන්ම ඉඟි පළ කර තිබුණා. Pathaan චිත්‍රපටයේද එවැනි ඉඟියක් ලබා දී තිබුණේ සල්මාන් ගේ ගරු රඟපෑම (cameo) අතරතුර දී. රිතික් රෝෂන් ගේ ගරු රංගනය මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැතත් ශාරුක් ඛාන් ගේ වැඩි තිර කාලයක් සහිත ගරු රංගනයක් මෙහිදී දැක බලාගැනීමට හැකි වනු ඇති. හොලිවුඩ් ක්‍රියාදාම නිළි Michelle Lee සමඟ කැට්රිනා කායිෆ් ගේ අපූරු සටන් ජවනිකාවක්ද “Towel fight” සමාජ ජාලා තුළ දැඩි කතා බහට ලක් වුණා. ඉතින් බොලිවුඩ් රසිකයින්ට නම් එළඹෙන දිවාලිය ගිණිකෙලි වලින් අඩුවක් නොමැති වනු ඇති බව ස්ථිරයි.

මීට අමතරව මේ වන විට ශාරුක් ඛාන් ගේ Jawaan සතු පළමු දින වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවට TIGER 3 ඉව අල්ලනවාද යන සැකයකුත් මතුව ඇති බව පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නිකුත් කරන්නේ සති අන්තයක් ආරම්භයේදී. නමුත් TIGER 3 නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන්නේ ඉරිදා දිනයකදී වීම මීට හේතුවයි. විචාරකයින් පවසන ආකාරයට නම්, මේ දිනවල පවතින 2023 ක්‍රිකට් ලෝක කුසලාන උණුසුම හේතුවෙන් TIGER 3 සිකුරාදා දිනක නිකුත්  කිරීමෙන් ප්‍රේක්ෂක අවධානය යම් හෙයකින් අඩු වුව හොත් ඉන් චිත්‍රපටයට අහිතකර බලපෑමක් එල්ල කිරීම වැළැක්වීමට නිෂ්පාදකයින් විසින් මෙම පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් සල්මාන් ඛාන් කියන්නේ ඕනෑම මොහොතක බොක්ස් ඔෆිස් වාර්තා උඩුයටිකුරු කළ හැකි සුපිරි නළුවෙක් බවට විවාදයක් නැහැ. TIGER 3 පූරව ප්‍රචාරක පටයේ එන ජනප්‍රිය දෙබසක් වන “Jab tak TIGER mara nahin – Tab tak TIGER haraa nahin” හි පැවසෙන ආකාරයට, “ටයිගර් මිය යන තෙක් පරාජය කල නොහැකි බව” නැවතත් පසක් කිරීමට සල්මාන් ඛාන් සමත් වෙයිද? ඔව් එය එසේම වුවහොත් කලක් තිස්සේ පැවති, සල්මාන්ගේ බොක්ස් ඔෆිස් ඉඩෝරය අවසන් කරමින්, බොලිවුඩ් සිනමාවට ධාරානිපාත වර්ෂාවක් ව ඇද හැලෙන්නට “TIGER 3” සමත් වනු ඇති.

උමේෂ් ද සිල්වා