මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත් ඉන් වයස 16ට අඩු ගැහැණු ළමුන් 22 ක් ගැබ්බර වී ඇති බවත්
පසුගිය 21 දා පැවති රජයේ මුදල් පිලිබඳ කාරක සභාව විශේෂ සාකච්ජාවේදී අනාවරණය වී ඇත.

ඒ අනුව ළමුන් සඳහා ලිංගික අධ්‍යපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඇතුළු මෙරට සිවිල් සංවිධානය නියෝජිතයින් සඳහන් කර තිබේ.

වැඩිහිටි රැකවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට නව ප්‍රතිපත්ති සම්පාදනය වියයුතු බවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා වූ බවත් මාසික සෞඛ්‍ය වර්ධනය උදෙසා පවතින පැරණි පනත සංශෝධනය කරමින් වර්තමානයට ගැලපෙන අයුරින් සක්වීමේ අවශ්‍යතාවක් ප්‍රබලවම පවතින බවත් මෙම කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරමින් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පාසැල් ගැහැණු ළමුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝව සාකච්ජා වී ඇති අතර සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් අවශ්‍ය, පාසල් ගැහැණු ළමුන් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

මෙහිදී අයවැය යෝජනා තුලින් අඩු අවධානය යොමුව ඇති, නමුත් සම්පුර්ණ අවධානය යොමුවිය යුතු අංශ ගණනාවක් ගැන මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතන් කරුණු පෙන්වාදී ඇති අතර එහිදී කාන්තා සුබ සාධනයට යොමුව ඇති අඩු අවධානය නිසා ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ඔවුන් කාරක සභාව දැනුවත් කර තිබේ.