බොලිවුඩ් සිනමා වංශ කතාවේ සදාතනික සිහින කුමරු ලෙස කිරැළු පැළඳි, බොලිවුඩයේ රජු (Badshaah of Bollywood) නොඓසේනම් King Khan ලෙස හඳුන්වන සුපිරි නළු ශාරුක් ඛාන් සිය සිනමා රංගන දිවියේ 31වන වසර පසුගිය 25වන දා සමරනු ලැබුවා. 1988 වර්ෂයේ දූර්දර්ශන් නාලිකාව ඔස්සේ විකාශය කළ Fauji ටෙලි කථා මාලාවෙන් ටෙලිනාට්‍ය රංගනයට පිවිසි ශාරුක් ඛාන් සිනමා රංගනයට අවතීර්ණ වන්නේ 1992 ජුනි 25 තිරගත කිරීම ආරම්භ කළ Deewana චිත්‍රපටයෙන්. එවකට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ පසුවූ රිශී කපූර් සහ නවක නිලි දිව්‍යා භරතී සමග සහාය නළු චරිතයක් රඟපෑ ශාරුක් සිය පළමු රංගනයෙන්ම රසික ආකර්ශනය දිනාගැනීමට සමත් වූයේ එම රංගනය සඳහා හොඳම නවක නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයද හිමි කර ගනිමින්. 1993 වසරේ තිරගත වූ Darr සහ Baazigar චිත්‍රපට ඔස්සේ දුෂ්ඨ චරිත (Negative roles) නිරූපණය කළද ශාරුක් වෙත තිබූ ප්‍රේක්ෂක ආකර්ෂණය තව තවත් වැඩි වූවා මිස අඩුවක් නම් වූයේ නැහැ.

“බොලිවුඩයේ සිහින කුමරු” ලෙස සුවහසක් රසික හදවත් තුළ ලැගුම් ගන්නට ශාරුක් ඛාන් සමත් වන්නේ 1995 තිරගත කිරීම ඇරඹූ යශ් චොප්රා ගේ Dilwale Dulhaniya Le Jayenge (DDLJ) චිත්‍රපටයේ රඟපෑ “රාජ්” ගේ චරිතයෙන්. මෙම චිත්‍රපටයෙන් ශාරුක්-කාජොල් යුවළ රිදී තිරයේ මුල්වරට පෙම්වතුන් ලෙස කළ එළි බසින්නේ බොලිවුඩයට සදාතනික තිර පෙම්වතුන් යුවලක් දායාද කරමින්. භාරත සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දිය හැකි DDLJ එදා මෙදා තුර වැඩිම දර්ශන වාර ගණනක් තිරගත කළ චිත්‍රපටයද වනවා. මේ වනවිට තිරගත කිරීමෙන් වසර 28ක් පමණ ඉක්ම ගොස් තිබුණද, DDLJ චිත්‍රපටය තවමත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තිරගත කිරීමෙන්ම ශාරුක්-කාජොල් යුවළ නිර්මාණය කළ රසික උන්මාදය කෙතරම්ද යන්න පැහැදිලි වනවා.

1992 පටන් අද දක්වා පුරා වසර 31ක් තිස්සේ සිය ප්‍රතිභාපූර්ණ රංගනයෙන් ලොව පුරා රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කළ ශාරුක් ඛාන් රංගනයෙන් දායක වී ඇති සිනමා පට සංඛ්‍යාව 90කට අධිකයි. Dil Se, Kuch Kuch Hota Hai, Devdas, Mohabbatain, Kal Ho Naa Ho, Veer Zaara, Om Shanthi Om, Rab Ne Banadi Jodi, Kabhi Alvida Naa Kehna… වැනි රසික හදවත් ප්‍රේමයෙන් මුසපත් කළ සිනමා නිර්මාණයන් ඔස්සේ ආදරණීය පෙම්වතාගේ චරිතයට පණ දුන් ශාරුක් Darr, Baazigar, Don, Raees, Fan වැනි චිත්‍රපටවල රඟපෑ දුෂ්ඨ චරිත (Negative Roles) තුළින් ද මතකයේ රැඳෙන රංගනයන් රසිකයන්ට සමීප කළා. Asoka, Swades, My name is Khan, Zero යන චිත්‍රපට තුළින් චරිතාංග නළුවකු ලෙස සිය අති විශිෂ්ඨ රංග ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ ශාරුක්, Baadshah, Phir Bhi Dil Hai Hindustani, Duplicate වැනි චිත්‍රපටවල නිරූපණය කළ ප්‍රහසනාත්මක චරිත තුළින් තව තවත් රසිකයින් පිනවූ අතර, එපමණකින්ද නොනැවතී Ra One චිත්‍රපටියෙන් සුපිරි වීරයෙකු (Super Hero) ලෙසත්, බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අළුත් කරමින් මෙම වසරේ තිරගත වූ Pathaan චිත්‍රපටයෙන් ක්‍රියාදාම වීරයෙකු (Action Hero) ලෙසත් රිදී තිරයේ චරිත මැව්වා.

තම සිනමා දිවියේ පසු කළ වසර 31 වෙනුවෙන්, විනාඩි 31ක් කාලයක් කැමති පැනයක් විමසීමට රසිකයින්ට අවස්ථාව ලබා දීම සඳහා ශාරුක් විසින් #AskSRK නමින් වැඩසටහනක් ද Twitter ඔස්සේ ක්‍රියාත්මක කර තිබුණා. ශාරුක් ඛාන් මෙම කාලය පුරාවටම රසිකයින් විසින් විමසන ලද විවිධ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයුවා. එහිදී රසිකයෙකු විමසූ එක් පැනයක් වූයේ “ඔබගේ 31 වසරක සිනමා ජීවිතයේ වැඩියෙන්ම ආඩම්බර වන ජයග්‍රහණය කුමක්ද?” යන්නයි. ඊට පිළිතුරු දුන් ශාරුක් ප්‍රකාශ කර සිටියේ, “තම ජීවිතයෙන් වැඩිම කාලයක් රසිකයින් පිනවීම වෙනුවෙන් වැය කිරීමට හැකිවීම ඔහු ලද විශාලතම ජයග්‍රහණය” බවයි.

ශාරුක් ඛාන්ගේ රසික ප්‍රජාවද සිය ආදරණීය සිනමා තාරකාවගේ 31 වැනි සිනමා සංවත්සරය සැමරීමට අමතක කර තිබුණේ නැහැ. විවිධ පෝස්ටු සහ සුභ පැතුම් පණිවුඩවලින් සමාජ මාධ්‍යජාලා පිරී ඉතිරී ගොස් තිබෙනු දක්නට ලැබුණු අතර, මුම්බායි, දිල්ලි ඇතුළු ප්‍රදේශ ගණනාවක විවිධ වැඩසටහන් ද ඔවුන් විසින් සංවිධානය කර තිබුණා. මුම්බායි හි ශාරුක් ඛාන්ගේ නිවස වන Mannat ඉදිරිපිටට එක්රැස් වූ රසිකයින් පිරිසක් සංවත්සර කේක් ගෙඩියක් කපා ප්‍රීති ඝෝෂා නගමින් විනෝද වන ආකාරය සහ දුගී ජනතාවට පිසූ ආහාර බෙදා දීමේ වැඩසටහනක් මෙන්ම දරුවන් සඳහා පාසල් උපකරණ හා මූල්‍යාධාර බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබූ ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා.

ෆිල්ම් ෆෙයාර් සම්මාන 15ක්, Screen සම්මාන 17ක් IIFA සම්මාන 6ක් ඇතුළුව දෙස් විදෙස් සම්මාන 300කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් කියන King Khan, භාරත වැසියෙකුට ලැබිය හැකි උසස්ම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද 2005 වර්ෂයේ දී පිදුම් ලැබුවා. මීට අමතරව ප්‍රංශය, දකුණු කොරියාව, මැලේසියාව වැනි රාජ්‍යයන්හි ද ගෞරව සම්මානයට පාත්‍ර වී ඇති ශාරුක් ඛාන් වෙත University of Bedfordshire විසින් කලාව හා සංස්කෘතිය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීමටද කටයුතු කර තිබෙනවා. මීට අමතර ව University of Edinburgh වෙතින් ද ආචාර්ය උපාධීයකින් පිදුම් ලද ශාරුක්, සුප්‍රකට Yale University හි ගෞරවයටද පාත්‍ර වූ විශිෂ්ඨයෙක්.

මේ වන විට 57 වන වියේ පසුවන මෙම සුපිරි නළුවාගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 770ක් වන බවයි පැවසෙන්නේ. ඒ අනුව, ලෝකයේ ධනවත්ම නළුවන් අතර සිව්වැනි ස්ථානය හිමි කරගෙන සිටිනවා. එපමණක් නොවෙයි, සුප්‍රකට ටයිම්ස් සඟරාව විසින් නිකුත් කර ඇති 2003 වසරේ ලොව බලගතුම පුද්ගලයින් 100 දෙනාගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමටද සමත්ව ඇත්තේ ශාරුක් ඛාන්.

මෙම වසර තුළදී ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන චිත්‍රපට 3ක් තිරගත කිරීමට සැලසුම්කර තිබෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා. සැප්තැම්බර් 07 තිරගත කිරීමට නියමිත, අට්ලි කුමාර්ගේ Jawaan සහ දෙසැම්බර් 22 තිරගත කිරීමට නියමිත, රාජ් කුමාර් හිරානිගේ Dunki යන චිත්‍රපටවල ප්‍රධාන චරිතවලින් සහ නොවැම්බර් 10 තිරගත කිරීමට නියමිත, මනීෂ් ෂර්මාගේ Tiger 3 චිත්‍රපටයේ ගරු රංගනයකින් (Cameo) ශාරුක් ඛාන් නැවතත් අප හමුවීමට නියමිතයි.

-උමේෂ් ද සිල්වා-