2023 වර්ෂය බොලිවුඩ් සිනමාවට සාර්ථක සිනමා නිර්මාණවලින් අඩුවක් නොතිබූ වසරක්. නමුත් ඉන් අතිශය බහුතරය යුධ, ක්‍රියාදාම, ත්‍රාසජනක වැනි ශානරවල චිත්‍රපට වුණා. Jawan, Animal, Pathaan, Gadar වැනි චිත්‍රපට ඉන් ප්‍රධානයි. Tu jhooti Main Makkar, Rokey Aur Rani Ki Prem Kahani වැනි සත්‍යෙයන් ඔබ්බට ගිය ප්‍රේම කතා රැගත් චිත්‍රපටද ලැබුවේ ඉහළ රසික ආකර්ෂණයක්. වාණිජ සිනමාව තුළ එවැනි නිර්මාණ සිදුවීම සාමාන්‍ය වන නමුත් ඉන් ගුණාමක නිර්මාණ සිදු වීමට එල්ල වන්නේ සෘණාත්මක බලපෑමක් නම් එය සුදුසු තත්වයක් නොවෙයි. OMG 2 හැරුණුකොට සමාජයට යහපත් පණිවුඩයක් මෙන්ම ප්‍රේක්ෂකයාට සිතන්නට යමක් ඉතිරි කරන ගුණාත්මක චිත්‍රපටයක් 2023 වසර තුළ බිහිවූවාද යන්න ප්‍රශ්නාර්ථයක්. නිකුත් වන තුරුත් එතරම්ම ප්‍රසිද්ධියක් නොතිබූ නිකුත් වී කිහිප දිනකින් ලොව පුරාම ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම විචාරකයින්ගේ ද අවධානය දිනාගැනීමට සමත් වූ චිත්‍රපටයක් පසුගිය ඔක්තෝබරයේදී පොලිවුඩයෙන් නිකුත් වී තිබුණා. ඒ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ විදූ විනෝද් චොප්රා විසින් අධ්‍යක්ෂණය කළ 12th Fail චිත්‍රපටයයි. ඉන්දියානු රුපියල් කෝටි 20ක පිරිවැයකින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඔක්තෝම්බර් 27 වනදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කිරීමෙන් පසු අනපේක්ෂිත සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව, නොවැම්බර් 2 වැනිදා සිට 12th Fail දෙමළ, තෙලුඟු හා කන්නඩා භාෂාවන්ට ද හඩ කවා තිරගත කිරීමට නිෂ්පාදකයන් කටයුතු කළ අතර, චිත්‍රපටය තිරගත කිරීමෙන් උපයා ඇති සමස්ත බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 66.5 ක් ඉක්මවා ගොස් තිබෙනවා. දෙසැම්බර් 29 වන දින සිට ඩිජිටල් අවකාශය (OTT) ඔස්සේ විකාශය ආරම්භ කිරීමත් සමඟම ලොව පුරා රසිකයින් විසින් 12th Fail ආදරයෙන් වැළඳගෙන ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා.

Vidhu Vinod Chopra විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද 12th Fail චිත්‍රපටය Anurag Pathak විසින් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් රචනා කරන ලද 12th Fail නවකතාව සිනමාවට නැගීමක් ලෙසයි හැඳින්විය හැක්කේ. සත්‍ය කතාවක් සිනමාවටය නැඟිම පහසු කටයුත්තක් නොවෙයි. බොහෝ සත්‍ය සිදුවීම් සිනමාවට නැගීමේදී වාර්තාමය ස්වභාවයක් ගැනීම බොහෝවිට දකින්නට පුළුවන්. එමෙන්ම එවැන් නිර්මාණයක් සිනමාත්මකව රසිකයාට සමීප කිරීමේදී තවත් ප්‍රායෝගික ගැටළු බොහොමයකට මුහුණ දීමට නිර්මාණකරුවන්ට සිදු වනවා. නමුත් ඒ සියළුම ගැටළු සහ අභියෝගයන් සාර්ථක ව ජය ගැනීමට අධ්‍යක්ෂවරයා ඇතුළු නිර්මාණ කරුවන් සමත් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. අපරාධකරුවන්ට ප්‍රසිද්ධ  ඉන්දියාවේ Gwalior නම් ග්‍රාමීය ප්‍රදේශයක උපන් මනෝජ් කුමාර් නම් 12වන පන්තියේ ඉගෙනුම ලබන දරුවකු දැඩි අධිෂ්ඨානය හේතුවෙන් සිය උසස් පොලිස් නිලධාරියකු වීමේ (IPS) සිහිනය සපුරා ගන්නා ආකාරය ඇතුළත් අපූරු කතා පුවත සිනමාපටය තුළ අපූරුවට සිතුවම් කිරීමට නිර්මාණ කරුවන් සමත් වී තිබෙනවා. ත්‍රාසය, භීතිය හෝ ඊනියා ජාත්‍යාලය වෙනුවට අවංකභාවය යන මානුෂීය ගුණය උත්කර්ෂයට නංවන 12th Fail මේ අකාරයෙන් රසිකයින් අතරට යාම පිළිබඳව සිනමාවට ආදරය කරන්නන් ලෙස ඇත්තෙන්ම සතුටු විය යුතු කරුණක්.

ඉන්දියාවේ පවතින දේශපාලනික හා සංස්කෘතික වටාපිටාව පිළීබඳ සත්‍ය කියැවීමක් ප්‍රේක්ෂකයාට ලැබෙන කලා නිර්මාණ බිහිවන්නේ අතලොස්සක් පමණයි. දුප්පත්කම, දූෂිත පරිපාලනය, අවනීතිය, සීමිත අවස්ථා, අධික තරඟකාරී බව ඇතුළු බොහෝ දෑ ප්‍රේක්ෂකයා ඉදිරියේ අපූරුවට දිගහරින 12th Fail පරිපාලනය සත්‍යාවාදී වූ විට එකී සියළු අභියෝග පහසුවෙන් ජයගත හැකි වන බවට වන පණිවුඩය එන්නත් කිරීමට සමත් වනවා. එම අභියෝගය ජයගන්නා මනෝජ් කුමාර් වත්මන් තරුණ පරපුරට ආදර්ශයක් වන අතරම කුමන තත්වයක් යටතේ වුවත් අවංකභාවය ආරක්ෂා කර ගනිමින් ඇද වැටෙන සෑම මොහොතකම නැවත ආරම්භයක් ලබා ගන්නට තරම් ශක්තිමත් වීරයින් සැබෑ ලෝකයේද (Real world hero) සිටින බව කා වැද්දීමට සමත් වී තිබෙනවා. එවැනි අරමුණකට ගමන්කරන මනෝජ්ට හමුවන අවංක ප්‍රේමය, අවංක මිත්‍රත්වය ඔහුගේ ගමන එළිය කරන පහන් කණු මෙන් නැඟි සිටින ආකාරයත් එම බැඳීම් ම ඔහුගේ ගමනට සංවේදී බාධක (Emotional barriers)  යොදන අවස්ථාවල ඒවා අපූරුවට මනෝජ් විසින් ජයගන්නා ආකාරයත් පෙන්වා දී ඇති ආකාරය අගය කළ යුතුයි. සැබෑ මනෝජ් කුමාර් තිරයේ එලෙසින්ම ප්‍රතිනිර්මාණය කරමින් Vikrant Massey එම චරිතයේ සෑම අස්සක් මුල්ලක්ම මැනවින් ස්පර්ශ කරමින් ප්‍රශංසනීය රංගනයක නිරත වනවා. විදූ විනෝද් චොප්රා විසින් පළමුව මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ අදහසක නොසිටි බවත් Vikrant ගේ තිර පරීක්ෂණය (Screen test) නැරඹීමෙන් පසු ඔහුම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තීරණය කළ බවත් පවසා තිබුණා. Vikrant Massey ට ඉතා අනගි සහායක් ලබා දෙන Medha Shankar සහ Anant V Joshi,  Anshumaan Pushkar  සමස්තයක් ලෙස ඉතා හොඳ රංගනයක නිරත වන බව කිව යුතුයි. තිරපිටපතේ සහ අධ්‍යක්ෂණයේ සුළු අඩුපාඩු දකින්නට ලැබුණත් ප්‍රේක්ෂකයාගේ හදවතට ආමන්ත්‍රණය කරන්නට ඒවා කිසිඳු ආකාරයකින් බාධාවක් වී ඇති බවක් පෙනෙන්නට නැහැ. සංගීත අධ්‍යක්ෂක Shantanu Moitra විසින් සංගීතවත් කර ඇති 12th Fail චිත්‍රපටයේ ඇතුළත් වනනේ ගීත දෙකක් පමණයි. ඉන් Shaan සහ  Shreya Ghoshal ගේ මියුරු ස්වරයෙන් හැඩවූ “Bolo Na” ගීතය චිත්‍රපටයට එක් කර ඇත්තේ අපූරු මිහිරියාවක්.

ලොව පුරා ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳගත් මේ අපූරු නිර්මාණය ‘Spider-Man: Across the Spider-Verse’ (8.6), ‘Oppenheimer’ (8.4) and ‘Godzilla Minus One’ (8.4) වැනි දැවැන්ත නිර්මාණ පවා අභිබවා යමින් 2023 වසරේ වැඩිම  IMDb ශ්‍රේණිගත කිරීමක් ලද චිත්‍රපටය බවට පත් වීමට පසුගිය දා සමත් වුණා. එපමණක් නොවෙයි වසර 14 ක් පුරා IMDb දර්ශකයේ ඉන්දියානු චිත්‍රපටයක් ලද ඉහළම ශ්‍රේණිගත කිරීම ලබමින් ප්‍රථම ස්ථානයේ පසු වූ Aamir Khan, Sherman Joshi සහ R. Madhavan රංගනයේ යෙදුනු, Raj Kumar Hirani විසින් අධ්‍යක්ෂණය කළ 3 Idiots (2009) චිත්‍රපටය පසුකර යමින් 9.2 ක ශ්‍රේණිගත කිරීමක් ලබමින් මුල් තැන ගැනීමට ද සමත් වීම 12th Fail ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම පසුගියදා Macau Asia-Europe Young Cinema Film Festival අවසාන කිරීමේ චිත්‍රපටය ලෙස තෝරා ගන්නා ලද 12th Fail ඉදිරියේදි පැවැත්වීමට නියමිත FILMFARE AWARDS හි හොදම නළුවා හොදම චිත්‍රපටය ඇතුළු නිර්දේශ (Nominations) 12ක් ලබා ගැනීමටද සමත් වී ඇත්තේ චිත්‍රපටයේ විෂ්ශිඨත්වය නැවතත් ඔප්පු කරමින්. සිනමා රසිකයෙකු ලෙසත් ශ්‍රී ලංකාව වැනි රටක පුරවැසියකු ලෙසත්  12th Fail නැරඹීම කිසිසේත් මඟ හැර ගත යුතු නැති බව කිව යුතුමයි. අප එසේ කියන්නේ, ඇද වැටෙන සෑම අවස්ථාවකම ජීවිතය නැවත ආරම්භ කරන්නට (Restart) 12th Fail අභිප්‍රේරණයක් සපයන නිසාම පමණක් නොවෙයි. 12 පනිතායේ ඉගෙනුම ලැබූ මනෝජ්ගේ සිතට නැගැණුඅවංක මනුෂ්‍යයෙකුට බලය ලැබුණා ම විශාල වෙනසක් කරන්න පුළුවන්යන සිතුවිල්ල අප වැනි රටක ජීවත් වන පුරවැසියන් මනසට කාවද්දාගත යුතුම වීම හේතුවෙන්.

  • උමේෂ් ද සිල්වා