එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ සුපිරි හයදෙනාගේ තරග වටයේ අද දිනයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි තරගයෙන්ද කඩුලු 09ක විශිෂ්ට ලෙස ජයක් ලබමින්, ශ්‍රී ලංකාව මෙවර එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර Bulawayo ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනූ දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32ක් සියල්ලන් ම දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 165ක් පමණි.

එහිදී Sean Williams ලකුණු 56ක් සහ Sikandar Raza ලකුණු 31ක් රැස් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 04ක්ද, දිල්ෂාන් මධුෂංක කඩුලු 03ක්ද බිඳහෙළීය.

අනතුරුව ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169ක් රැස් කරමින් තරගය ජය ගත්තේය.

එහිදී සිය 02වැනි එක්දින ශතකය රැස් කළ පැතුම් නිස්සංක ලකුණු 101ක් රැස් කළේ හතරේ පහර 14ක් සමගිනි.

තරගයේ වීරයා සම්මානය මහීෂ් තීක්ෂණට හිමිවූ අතර, මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේය.