වෙළෙඳපොලේ සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල (MRP) රුපියල් 2300ක් දක්වා අඩු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු පැවසිය.

වෙළෙඳපොළ සිමෙන්ති මිල ගණන් සම්බන්ධයෙන් දේශීය සිමෙන්ති නිෂ්පාදකයන් සමඟ අද දින (6) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වෙළෙඳ ඇමතිවරයා මෙසේ සදහන් කළේය.

මේ වන විට රුපියල් 2600.00ක උපරිම සිල්ලර මිලක් පවතින සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රු 2300.00ක් දක්වා අඩු කිරීමට පැමිණ සිටි නිෂ්පාදකයන් එකඟ වූ අතර, මීට පෙරද අවස්ථා ගණනාවකදී සිමෙන්ති නිෂ්පාදකයන් සමඟ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර ඒ අනුව රට තුළ සිමෙන්ති නිෂ්පාදනය කරන සියලු සමාගම් ඒ සඳහා එකඟ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම එකම භාණ්ඩය විවිධ ස්ථානවල විවිධ මිල ගණන් යටතේ අලෙවි වනු නිරීක්ෂණය වන බව බවත් මෙම සතිය තුළ සියලුම බේකරි ඇතුළු ආපනශාලා වල මිල ප්‍රදර්ශනය කෙරේද යන්න සොයා බලන ලෙසත්, එසේ නොමැති වෙළෙඳසැල් හා ආපනශාලා සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන් බවත් හෙතෙම එහිදී පැවසිය.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කමිටුව හරහා ටයිල් මිල සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශයට වාර්තාවක් මේ වන විටත් සකසා ඇති අතර,එය ඉක්මනින් ලබා දීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෝටර් රථ, යතුරු පැදි හා ත්‍රීරෝද රථ වාහන අමතර කොටස් හා එන්ජින් ඔයිල් ඇතුළු භාණ්ඩ සඳහාද මේ වන විට නිෂ්පාදන පිරිවැය ඇතුළු ගණනය කිරීම් සිදු කරමින් පවතින අතර , ඔවුන් සමඟද මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කිය.

ආදායමට සාපේක්ෂව වියදම සකසා ගැනීම මෙන්ම ආදායම ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම වැදගත් බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.