ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වා සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන, ගාසා තීරයට රැගෙන ගියේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.

එදා සිට ඊශ්‍රායල හමුදා, ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් ග්‍රහණෙයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ යුද ගැටුම් නැවැත්වීමට, මැදහත් වී සිටින්නේ කටාර් රාජ්‍යයයි. කටාරය නව යෝජනාවක් සකස් කර ඇත්තේ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් මුලුමනින්ම නවත්වා දැමීමටය.

එම යෝජනාව සම්බන්ධයන් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්වි තිබෙන අතර ඒ අවස්ථාවේදී සිවුදින සටන් විරාමයකට කැමැත්ත පළ කර ඇත.