2023 බොලිවුඩ් සිනමා ඉතිහාසයේ මතක හිටින අවුරුද්දක් බවට මේ වන විටත් පත් වී හමාරයි.  අති සාර්ථක චිත්‍රපට රාශියක්ම මේ අවුරුද්ද පුරාවටම තිරගත වුණා වගේම ඉදිරියට තිරගත වෙන්නටත් නියමිත ව තිබීම ඊට හේතුව විදියට හඳුනවන්න පුළුවන්. ඉන්දියානු සිනමා ඉතිහාසයේ ස්වර්ණමය සති අන්තය විදියට අගොස්තු දෙවැනි සති අන්තය නම් කෙරුණේ, තවමත් තිරගත වන Gadar 2 සහ Jailer කියන දැවැන්ත බොලිවුඩ් සහ කොලිවුඩ් චිත්‍රපට ලැබූ වාර්තාගත ආදායම් හේතුවෙන්. ඒ නිසාම වසරේ විශාලතම බොක්ස් ඔෆිස් ගැටුම (Box Office Clash) විදියටත් එය හඳුන්වලා තිබුණා. ඒත්, මේ වෙද්දි අහන්න ලැබෙන්නේ ඇත්තටම 2023 අවුරුද්දේ දැවැන්තම බොක්ස් ඔෆිස් ගැටුම සිදු වෙන්න යන්නේ එළඹෙන දෙසැම්බර් මාසයේ දී කියන ආරංචිය.

ලොවපුරා ජනප්‍රිය වූ KGF(2018)  සහ KGF2 (2022) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රශාන්ත් නීල්ගේ Salaar: Part 1 – Ceasefire තෙලුඟු  චිත්‍රපටය සහ සම්මානනීය බොලිවුඩ් අධ්‍යක්ෂක රාජ් කුමාර් හිරානිගේ Dunki හින්දි චිත්‍රපටය දෙසැම්බර් 22 වන දා සිට තිරගත කිරීමට නියමිත බව මේ වන විට සිනමා රසිකයන්ට රහසක් නොවෙයි. ඒත්, මේ චිත්‍රපට දෙකම එකම දවසක නිකුත් කිරීමෙන් කුමකින් කුමක් සිදු වෙයිද කියන කාරණය රසිකයින් කාටත් ඇතිවී තිබෙන ප්‍රශ්නයක්. සිනමා විචාරකයිනුත් මේ සම්බන්ධයෙන් විවිද අදහස් පළ කර තිබුනා. ඇත්තටම ඉන්දියානු සිනමාවේ උතුරත් දකුණත් ගැටෙන මේ සිනමා යුද්ධයේ ජය කාට හිමි වෙයිද? චිත්‍රපට දෙකටම සාර්ථක වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් චිත්‍රපට දෙකම අසාර්ථක වෙයිද?

නත්තල් නිවාඩුව ඉලක්ක කර ගත් 22න් ඇරඹෙන සති අන්තය චිත්‍රපටයකට ඉතාම වාසි දායක ආරම්භයක් ලබා ගන්නට පුළුවන් සති අන්තයක්. මොකද වසර අවසානයේ දින තුනක් සහිත දීර්ඝ නිවාඩුවක් කියන්නේ හොඳ අවස්ථාවක්. 2024ට කල්දැමෙන බවට ආරංචි තිබුණත් 2023 දෙසැම්බර් මාසයේ Dunki නිකුත් වෙන බව මේ වසර මුල ඉඳන්ම වාර්තා වුණා. ඒත්, Salaar දෙවරක්ම නිකුත් කිරීමේ දින නිවේදනය කළත් විවිධ හේතු පවසමින් ඒවා අවලංගු කළා. Jawan චිත්‍රපටය නිකුත් කළ සැප්තැම්බරයේම තිරගත කරන්නට පූර්ව වෙන් කිරීම් (Advance bookings) පවා ආරම්භ කර තිබියදී තමයි Salaar දෙවනි වරට කල් දමන්නේ. ප්‍රේක්ෂකයින්ගේ සෘණාත්මක ප්‍රතිචාර හමුවේ තාක්ෂණික කටයුතු නිසා කල් දැමුණ බව නිශ්පාදකයින් පැවසුවත් Jawan සමඟ තරඟ කිරීම අවාසිදායක විය හැකි නිසා කල් දැමුණු බවයි විචාරකයින් නම් පෙන්වා දුන්නේ. අවසානයේදී ජෝතිෂ්‍යඥයන්ගේද උපදෙස් මත දෙසැම්බර් 22 දිනයම Salaar තිරගත කිරීමට තෝරා ගැනීමත් සමඟ කලින් බලාපොරොත්තු නොවුණු බොක්ස් ඔෆිස් ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා.

හදිසියේ නිර්මාණය වුණු මෙ ගැටුම නිසා චිත්‍රපට දෙකටම ආදායම් ඉපයීම අතින් අවාසියක් වෙන බවයි අපේ නම් අදහස. කෙසේ වෙතත්, එහි පීඩනය වැඩියෙන්ම තියෙන්නේ Dunki චිත්‍රපටයට වඩා Salaar චිත්‍රපටයට බවයි පෙනෙන්නට තියෙන්නේ. Salaar ප්‍රධාන චරිතය නිරූපණය කරන ප්‍රභාස් මෑත කාලයේ රඟපෑ Radhe Shyam (2022) සහ Adipurush (2023)  චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. ඒ විතරක් නෙවෙයි Adipurush (2023)  චිත්‍රපටය රසිකයින් අතර හාස්‍යයට වගේම වෛරයටද ලක්වුණා. ප්‍රශාන්ත් නීල් නිර්මාණය කරන්නට යන KGF universe හි කොටසක් ලෙස නිකුත් වන Salaar අනිවාර්යයයෙන්ම බොක්ස් ඔෆිස් හි සාර්ථක විය යුතුව තිබෙනවා. මොකද එහි සාර්ථකත්වය කෙලින්ම Salaar Part 2 සහ KGF universe හි ඉදිරියට එකසේ බලපෑම හේතුවෙන්. ඒ වගේම Dunki චිත්‍රපටයට වඩා දැවැන්ත පිරිවැයකින් නිෂ්පාදනය කරන නිසා Salaar ආදායම් ලැබීමෙන් දුර්වල වුණොත් එමගින් චිත්‍රපටයට පහළ මට්ටමේ verdict එකක් ලැබීමටත් ඉහළ අවදානමක් පවතිනවා.

Dunki චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඉන්දීය සිනමා ඉතිහාසයේ වසරක් තුල පිටපිටම ඉන්දියානු රුපියල් කෝටි 1000ක ආදායම ඉක්මවූ එකම නළුවා විදියට ඉතිහාස ගතවූ සුපිරි නළු ශාරුක් ඛාන්. බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ Pathaan සහ Jawan චිත්‍රපටවල රංගනයෙන් පසුව ශාරුක් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂකාගාරය පසුවන්නේ නොඉවසිල්ලෙන්. කිසි දිනක අසාර්ථක (Flop) චිත්‍රපයටක් අධ්‍යක්ෂණය කර නොමැති රාජ් කුමාර් හිරානි කලකට පසු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් දැක බලා ගැනීමට ඉන්දියාව තුළ පමණක් නෙවෙයි විදේශීය රසිකයිනුත් පසුවන්නේ සෑහෙන උනන්දුවකින්. සාපේක්ෂව අඩු නිශ්පාදන වියදමකින් නිශ්පාදනය වන Comedy: Drama ශානරයේ චිත්‍රපටයක් වන නිසා Blockbuster තත්වයට ළඟා වීම Dunki චිත්‍රපටයට අපහසුවක් වෙන එකක් නැහැ. 3 idiots (2009), PK(2014),  Sanju (2018) වගේ නැවත නැවත නරඹන්නට පොළඹවන ආකාරයේ ආකර්ශණිය කතාවක් Dunki තුළිනුත් දක්නිනට ලැබේවි කියලා විශ්වාස කරන්න පුළුවන්කම තියනවා. ඒත්, කතාව තියෙන්නේ Dunki සහ Salaar අතර විතරයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒක ලොකු වැරදීමක්. මොකද දෙසැම්බර් 20වෙනිදා Aqua Man and The Lost Kingdom හොලිවුඩ් චිත්‍රපටයත් දෙසැම්බර් 15 වෙනිදා කොලිවුඩ් සුපිරි නළු ධනුෂ්ගේ Captain Miller චිත්‍රපටයත් තිරගත වෙන්න නියමිත වීම නිසා. ඒ කියන්නේ මේ බොක්ස් ඔෆිස් ගැටුම බොලිවුඩ් ටොලිවුඩ් කොලිවුඩ් සහ හොලිවුඩ් දක්වා යන දැවැන්ත ගැටුමක් බවට පත් වීම වළක්වන්න බැහැ. මේ වගේම ගැටුමක් 2018 දෙසැම්බරයේදීත් රසිකයින්ට අත්විඳින්න පුළුවන් වුණා. ඒ ශාරුක් ඛාන් රඟපෑ Zero, ධනුෂ් රඟපෑ Maari 2, ප්‍රශාන්ත් නිල්ගේ KGF සහ Aqua Man අතරයි. එම ගැටුමෙන් නම් ශාරුක් ඛාන් රඟපෑ Zero අන්ත පරාජයක් ලැබුවේ, අනෙකුත් චිත්‍රපට 3ම බොක්ස් ඔෆිස් හි අති සාර්ථක වෙද්දීයි.

ඒත් වසර හතරකට පස්සේ මේ ක්‍රිඩකයින් සුපුරුදු ක්‍රීඩාව සඳහා මේසය වටේ ඉඳගන්න සූදානම් වන්නේ පුටු මාරු වී තිබෙන පසුබිමකයි. Blockbuster චිත්‍රපට දෙකක රංගනයෙන් පසු ශාරුක් ඛාන්, Flop  චිත්‍රපට දෙකක රංගනයෙන් පසු ප්‍රභාස් සමඟ තරඟ කරන ධනුෂ් පසුවන්නේ ජනප්‍රියෙත්වයේ කිරුළ සෙලවෙමින් පවතින පසුබිමකයි. කොලිවුඩ් චිත්‍රපට නිශ්පාදකයින්ගේ සංගමය නිකුත් කළ රතු කාඩ්පතේ “කළු පැල්ලම” ද ඔහුට බොහෝවිට අවාසි වනු ඇති. උතුරු ඉන්දියානු චිත්‍රපයකට දකුණු ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන්නේ අවම සහයෝගයක්. දකුණු ඉන්දියානු ශිල්පීන් රැසක් රඟපෑ Jawan චිත්‍රපටයෙනුත් එය පැහැදිලිව දැක ගන්නට හැකියාව ලැබුණා. නමුත් සාර්තක දකුණු නිර්මාණයකට උතුරේ සාර්ථක වීමේ බාධාවක් නැහැ. එත්, පවතින තත්වය මත ප්‍රේක්ෂකයින්ගේ වැඩි ආකර්ෂණයක් ශාරුක් ඛාන් සමඟ රාජ් කුමාර් හිරානිගේ සුසංයෝගය කෙරෙහි ඇති බව දකින්නට ලැබෙන නිසා අනෙක් චිත්‍රපට වලට ඉදිරියෙන් Dunki තෝරා ගනු ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. මින් ඉහත දී Maari සහ KGF සඳහා උතුරින් ලැබුණු සහයෝගය Captain Miller සහ Salaar සඳහා අඩු වුවහොත් එම චිත්‍රපට වල සමස්ත  ආදායම විශාල වශයෙන් පහළ යනු ඇති.

CDN media

Jason Momoa  රඟන Aquaman චිත්‍රපටයේ වැඩි බලපෑම Dunki  වෙත ලැබෙනු ඇති බව විශ්වාස කළ හැක්කේ, හොලිවුඩ් චිත්‍රපට වැඩි වශයෙන් ප්‍රිය කරන්නේ උතුරු ප්‍රේක්ෂකාගාරය විම හේතුවෙන්. එපමණක් නොවෙයි මේ චිත්‍රපටවලට අමතරව ප්‍රේක්ෂකයින් ඉතා උනන්දුවෙන් මග බලා සිටි Arjun Reddy චිත්‍රපටයේ අධ්‍යක්ෂ සන්දීප් රෙඩ්ඩි වංගා අධ්‍යක්ෂණය කරන, රන්බීර් කපූර් රංගනයෙන් දායක වන Animal චිත්‍රපටය සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායක වන Yodha  චිත්‍රපටයද පිළිවෙලින් දෙසැම්බර් 01 සහ 08 දිනවලදී නිකුත් වීමට සූදානම් කර ඇති නිසා, එළඹෙන දෙසැම්බරයේ සීතල ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයින්ට නම් නොදැනෙනු ඇති.

උමේෂ් ද සිල්වා