සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ පවසයි.

2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා දැමුණු අතර රටේ දරු පරපුර ගැන සිතමින් සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම කාලෝචිත කාරණයක් බව කී මාරසිංහ පාසල් වයසේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා මෙමගින් මනා පිටුවහලක් ලැබෙන බව සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල තීරණය සඳහන් පරිදි රක්ෂණය සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනයක් සුරක්ෂා රක්ෂණයට දායක කර ගැනීමට නියමිතව තිබෙන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ පැවසීය.

මෙම රක්ෂණය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ තුනක් දක්වාත්, බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් විසිදහසක් දක්වාත්, අසාධ්‍ය රෝගී තත්ත්වයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 දක්වාත් ප්‍රතිලාභ හිමි වන අතර සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ විශේෂ පාසල සිසුන් සඳහා මෙම රක්ෂණාවරණය හිමිවන බව ආශු මාරසිංහ වැඩිදුරටත් පැවසීය.