සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම්, ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසයක් තබා නොගන්නැයි හමාස් සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හුවමාරුවකින් තොරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමක් නොවන බව ද හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබූ ඔබෙයිදා සඳහන් කර ඇත.

සාකච්ඡාවලින් තොරව වෙනත් රහසිගත මෙහෙයුම් දියත් කළහොත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකු ප්‍රාණය සහිතව සිය භූමියෙන් පිටව නොයනු ඇති බව ඔහු අවධාරණය කර ඇත.

පසුගිය පළමු වැනිදා ආරම්භ වූ සටන් විරාමයේදී පලස්තීන සිරකරුවන් 240 දෙනෙකු වෙනුවට ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු නිදහස් කෙරිණ.

ඊශ්‍රායල ජාතිකයින් 80 දෙනෙකු ඊට ඇතුළත් ය.

එමෙන්ම යුද්ධය උග්‍ර වෙමින් පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබේ.

එය හමාස් සංවිධානය අවසන් වීමේ ආරම්භයක් බව ද, ඔහු පවසා ඇත.