යව්වනියක් තුළ යව්වනයෙකු අරභයා හට ගන්නා ඕනෑම පසන් සිතුවිල්ලක් ප්‍රේමය යැයි පසක් කොට ගත හැකි නොවේ.නිශ්චිත රූපාකාරයක් නොමැති වීම නිසාම “මෙන්න මම ප්‍රේමය අඳුනාගත්තා” යැයි තුටු පහටු වීම ද අසීරුය.කවිය ද එසේමය.ඊට ද නිශ්චිත හැඩයක්,නිශ්චිත පැහැයක්,නිශ්චිත සුවදක් නැත.විවිධ විලාසයෙන් පවතින්න පුලුවන් වීම ම කවියක චමත්කාරය ත්‍රීව්‍ර කරවන්නකි.ඒ අර්ථයෙන් ප්‍රේමය සහ කවිය අතර ඇත්තේ කළන බැදීමකි.

එනිසා ම “කවිය ඔබ” යැයි ගයන විට එය ප්‍රේමය පිළිබදව උෘණතාවයක් නොමැති රූපකයකි.

කවිය ඔබ
තුන් තිස් පැයක්
නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන්
තවම නොලියූ
කවිය ඔබ

හරිහමන් කවියක් ලිවීම මොනතරම් දුෂ්කරදැයි දන්නේ කවියන් ය.එහි දී තිතක්,කොමාවක්,විරාම ලකුණක් පවා පූර්ණ අවධානයකින් සලකා බැලිය යුතුය.භාවාත්මක ගුණ ඉහලින්ම සුරැකිය යුතුය.කාව්‍ය ව්‍යාකරණය නොබිඳිය යුතුය.අවසානයේ දී කියවන්නා පැහැදිලි රසාවේෂයකට පත් කළ යුතුය.

එවැනි කවියකට අපි හොද කවියක් යැයි කියන අතර එවැනි කවි සුලභව ලියැවෙන්නේ නැත.මේ ගීතයේ එන තරුණිය ලිවීමට උත්සාහ ගන්නේ එබඳු “හොද” කවියකි.උත්තම රස නිෂ්පත්තියකින් අනූන කවියකි.

ගීතයේ පලමු අන්තරා කොටසින් අපට ඇසෙන්නේ එබදු කාව්‍යමය ප්‍රයත්නයක් උදෙසා ඇය දරන මහන්සියේ තරමය.

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මම අසරණව උන්නා
යෙෘව්වනේ
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඩුවා

එහෙත් ඇයට ඇය සොයන කවිය හමු නොවේ.සිත ඉකි ගසා හඩන තරමට ඇගේ ආත්මීය කම්පනය ත්‍රීව්‍ර වේ.

මේ කොටසට එන විට අපට වෙනත් යමක් ද හැගේ.එනම්,ඕනෑම හොද ගීතයක තිබිය යුතු යැයි අප විශ්වාස කරන ව්‍යාංගාර්ථය නම් අබිරහස හෙළිදරව් කර ගැනීමට හෝඩුවාවක් හිමි වීම ය.

කවියක් ලියන්නට ඇය ගන්නා දිගු වෙහෙස වූ කලී සිය දයාබරයා ‘කියවාගන්නට’ ඇයට වන උවමනාවද?මට හැඟෙන්නේ එහෙමය.කවියක් නම් හැම විටම මනෝරම්‍ය ය.එහෙත් සමහර කවි සංකීර්ණය.එක්වනම අරුත් පසිදලන්නට නොහැකිය.ඒ අතින් කවිවලට ඇත්තේ ඊටම අනන්‍ය සෙෘම්‍ය දුෂ්ටත්වයකි.

ඇයට ලැබී ඇත්තේ එබඳු කවි විය යුතුය.ඒ කවි කියවා අසරණ වූ බවක් මිස තේරුම් ගත් බවක් ගීතයෙන් නෑගේ.එහෙත් නොතේරුම් සහගත වීම නොබැදී සිටින්නට හේතුවක් නොවේ.ඒ වනාහී අවදානම උග්‍ර කලාපයකි.

ගීතයේ දෙවන අන්තරා කොටසින් අපට ඇසෙන්නේ ඇගේ පීඩාවේ කෙදිරියය.

හොර ඇසින් ඉගි කරලා
සද මගෙන් සමුගත්තා
කවි පොතම පොඩි කර දා
නිදියන්න මට හිතුණා
යව්වනේ අත ලගින් හිදිනා මොහොතක
දුර ඈත වග දැනුනා

ඇය හිදින්නී ආසාවත් බයත් අතර කලාපයේය.ආසාව,ඇය ද යව්වනියක් බැවිනි.බය,ඇය ආසියාතික යව්වනියක් බැවිනි.පිරිමින්ට නැති ගැහැණුන්ට පොදු සීමා මායිම් මෙහි වේ.ඒ තුළ පිරිමියෙකුට පරිදි පහසුවෙන් ආදර පුදසුනට හදවත වීසි කරන්නට ගැහැණියකට නොහැකිය.

ඒ තීරණාත්මක පියවර තබන්නට පූර්වයෙන් ඇය කල්පනා කළ යුතුය.සිය දහස් වතාවක් කල්පනා කළ යුතුය.එක්දහස් එක් වෙනි වතාවට කල්පනා කළ පසු ද යව්වනියක් ගනු ලබන්නේ එකම තීරණයකි.එනම් “හා” කීමය.

එසේ “හා” කියන්නට පූර්වයෙන් අත්විදින්නට සිදුවන මානසික කැළඹීමේ නිමේෂය වෙන කිසිම ගීතයකදී මෙතරම් ලයාන්විතව ගායනා වී නැත.යුවතියන් මේ ගීයට රිසි එබැවිනි.

නලින්ද සංජීව ලියනගේ