හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි මහත්මිය විසින් ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කර තිබේ.

පෙත්සමේ මෙසේද සඳහන් වේ

2023 නොවැම්බර් 8 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවේචනය කරමින් කතාවක් පවත්වා ඇත.මෙම කතාවේ අඩංගු කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ.

එපමණක් නොව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනා වලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලට බරපතළ හානියක් අගතියක් සිදුවී ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ.

එබැවින් වගඋත්තරකාර අමාත්‍යවරයාට අධිකරණ අපහාසයට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට සඳහන් කරමින් නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණ අපහාසය සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙසද නීතිඥවරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම අද(29) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.