කහවත්ත ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටි විපක්ෂයේ පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එවකට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වූ සබරගමු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 5ක සිර දඬුවමක් ලබා දෙන ලෙස රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (සැප්. 25) නියෝග කර ඇත.

එම දඬුවමට අමතරව රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙස ද විනිසුරුවරිය විත්තිකරුට නියම කර තිබේ.

විත්තිකාර පුද්ගලයාට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් මහාධිකරණ විනිසුරුවරිය මෙම දඬුවම නියම කර ඇත.

2015 ජනවාරි මස 5 දින හෝ ඊට ආසන්න දිනයකදී විපක්ෂයේ දේශපාලන පක්ෂයක සාමාජිකයින් පිරිසක් කහවත්ත ප්‍රදේශයේ රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටින අතරතුර වෙඩි තැබීමක් සිදුව ඇති බව ත් මේ සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටි ප්‍රේමලාල් ජයසේකර චෝදනා ලැබ සිට ඇති බව ත් අධිකරණයේදී හෙළි වි තිබේ.

එසේ චෝදනා ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට නොගන්නා ලෙසට විත්තිකාර හටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවකට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිව සිටි ලලිත් රාජමන්ත්‍රීට බලපෑම් කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ ඔහුට එරෙහිව චෝදනා නගනු ලැබ තිබිණි.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කියා සිටියේ, තමන් යටතේ සේවය කරන පහළ නිලධාරියෙකුට බලපෑම් කිරීම බරපතළ කාරණාවක් බව ත් මෙම චූදිතයා එවැනි බරපතළ බලපෑමක් කර ඇති බවට තහවුරු වන බව ත් ය.

රජයේ නිලධාරියෙකුගේ සේවයට බලපෑම් කිරීමට කුමන තරාතිරමක නිලධාරියෙකුට වුව ද හැකියාවක් නොමැති බව ද මෙවැනි කටයුතුවල නිරත වන සෙසු නිලධාරීන්ට ද පාඩමක් කියා දීම සඳහා විත්තිකාර පුද්ගලයාට දඬුවම් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය ඔහුට එසේ වසර 5ක සිර දඬුවම් නියම කර ඇත.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබිණි.

කෙසේ වෙතත්, අදාළ ඝතනයට චෝදනා ලැබූ ‘චොකා මල්ලි’ හෙවත් ප්‍රේමලාල් ජයසේකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ නිදොස් කොට නිදහස් කෙරිණි.