Lust Stories ‍යනු 2018 වසරේදී Netflix ඔස්සේ ප්‍රදර්ශනය කරන ලද කෙටි චිත්‍රපට හතරකින් සමන්විත සංග්‍රහ චිත්‍රපටයක් (Anthology film). බොහෝවිට එක් ශානරයකනට (Genre) අයත් වන ලෙස නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ කෙටි චිත්‍රපට කිහිපයකින් සමන්විත මෙවැනි සංග්‍රහ සිනමාපට හින්දි සිනමාවට අමුත්තක් නොවූවත්, ඉන් කිහිපයක් හැරෙන්නට බොහොමයක් සංග්‍රහ චිත්‍රපට රසිකයින් අතර ජනප්‍රිය වූ බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අතර, Darna mana hai (2003), Darna Zaroori Hai (2006), Dus Kahaniyaan (2007), I Am (II) (2010), Ajeeb Daastaans (2021) එලෙස ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට අතරින් කිහිපයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. හින්දි සිනමාවට වසර 100ක් සම්පූර්ණ විම වෙනුවෙන්ද 2013 වසරේදී Bombay Talkies නමින් සංග්‍රහ චිත්‍රපටයක් නිකුත් කෙරුණා.

හින්දි භාෂාමය සංග්‍රහ චිත්‍රපට අතර 2018 නිකුත් කරන ලද Lust Stories ‍චිත්‍රපටය සමාජ කතිකාවතක් ගොඩනැගීමට සමත් වූ චිත්‍රපටයක් වුණා. ඉන්දියානු ජන සමාජයේ මෙන්ම සිනමාව තුළ ද එතරම් සාකච්ඡා නොවන මාතෘකාවක් වන කාන්තා ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡා කරන ලද එම චිත්‍රපටය විචාරක පැසසුම් නොමඳව ලබාගත්තා. චිත්‍රපටයට එරෙහිව විවිධ විරෝධතාවන්ද එල්ල වුවත් OTT මාධ්‍යයෙන් නිකුත් කිරීම හේතුවෙන් ඒවා චිත්‍රපටයේ ප්‍රදර්ශනයට බාධාවක් වූයේ නැහැ. එපමණක් නොවෙයි. එය 47 වන ජාත්‍යන්තර එමි සම්මාන උළෙලේ (International Emmy Awards) හොඳම ටෙලි චිත්‍රපටය සහ රාධිකා ආප්ටේ, හොඳම නිළිය යන සම්මාන සඳහා ද නිර්දේශ වී තිබුණා.

එහි දෙවැනි දිගුව ලෙස ඉකුත් ජුලි 29 වන දින සිට Netflix ඔස්සේ ප්‍රදර්ශනය ආරම්භ කළ Lust Stories 2 චිත්‍රපටය ද මුල් චිත්‍රපටයේ මෙන්ම කෙටි චිත්‍රපට 4කින් සමන්විත වනවා. ආර්. බාල්කී අධ්‍යක්ෂණය කළ Made For Each Other, කොන්කෝනා සෙන් ශර්මා අධ්‍යක්ෂණය කළ The Mirror, අමිත් ශර්මා අධ්‍යක්ෂණය කළ Tilchatta සහ සුජෝයි ඝෝෂ් අධ්‍යක්ෂණය කළ Sex With Ex එම කෙටි චිත්‍රපටයි. Lust Stories 2 චිත්‍රපටය RSVP Movies සහ Flying Unicorn Entertainment වෙනුවෙන්, රොනී ස්කෲවාලා සහ ආශි දුආ සාරා ගේ නිෂ්පාදනයක් වන අතර එහි සංගීත නිර්මාණය අමන් පන්ත් විසින් සිදු කර තිබෙනවා. Lust Stories 2 සඳහා රසිකයින්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන බව දක්නට ලැබුණු අතර, එයට ප්‍රධානතම හේතුව වූයේ මෙම චිත්‍රපටය සඳහා කාජොල්, මෘනාල් ඨාකූර්, තමන්නා භාටියා, නීනා ගුප්තා වැනි සුපිරි බොලිවුඩ් ශිල්පිනියන් රංගනයෙන් දායක වීමයි.

පළමු චිත්‍රපටයට මෙන්ම දෙවන චිත්‍රපටය වෙතද ප්‍රේක්ෂකයින් හා විවිධ පාර්ශ්ව වෙතින් විරෝධතා සහ සෘණාත්මක ප්‍රතිචාර එල්ල වී තිබුණා. එපමණක් නොවේ. මෙහි රංගනයේ යෙදෙන ශිල්පීනියන් වෙත පෞද්ගලිකව පවා ඉතා අවර ගණයේ චෝදනා එල්ලවෙමින් පවතින බවත් වාර්තා වනවා. විශේෂයෙන් මෑතක දී නිකුත් වූ Jee Karda වෙබ් කථා මාලාවේද අනුරාගී දර්ශන රඟපෑ තමන්නා භාටියා වෙත එලෙස චෝදනා එල්ල වී තිබුණා. “මෙවැනි දර්ශනවල රඟපාන්නට තරම් ඔබට ඇති අහේනිය කුමක්ද?” යනුවෙන් රසිකයෙකු ඇගෙන් විමසා තිබූ අතර, නිල් චිත්‍රපට නිලියක හා තමන්නා අතර වෙනසක් නොමැති බව තවත් අයෙකු ප්‍රකාශ කර තිබුණා. සුජෝයි ඝෝෂ් අධ්‍යක්ෂණය කළ Sex With Ex කෙටි චිත්‍රපටයේ රඟපෑ තමන්නා රඟපෑ චරිතය ස්ත්‍රී ද්‍රෝහී චරිතයක් බවටද අදහස් පළ වී තිබුණා. එකී අදහස් සම්බන්ධයෙන් සිය හඬ අවදිකළ තමන්නා, “පිරිමි රංගන ශිල්පීන් කොතෙක් ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය නිරූපණය වන චරිත රඟපෑවත් ඔවුන්ට චෝදනා එල්ල නොවන බවත්, ඔවුන් සුපිරි චරිත ලෙස සලකන ප්‍රේක්ෂකයින්, කාන්තාවක එවැනි චරිතයක් රඟපෑවහොත් නරක චරිතයක් ලෙස හංවඩු ගැහෙන බවත්, මෙය තේරුම් ගැනීමට පවා නොහැකි තත්වයක් බවත්’ කියා සිටියා.

The Mirror සහ Hindustan Times යන වෙබ් අඩවිවල පළවූ විචාරක සටහන්වල චිත්‍රපටය අගය කර තිබෙනු දක්නට ලැබුණත් ඇතැම් විචාරකයින් වෙතින් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාර ලබා දී තිබුණා. Telangana Today වෙබ් අඩවිය එලෙස චිත්‍රපටය ඉතා නිර්දය ලෙස විවේචනය කර තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ Lust Stories චිත්‍රපටය තුළ කාමය (Lust) තබා කතාවක් (Story) වත් දකින්නට නොමැති බවයි. චිත්‍රපටයේ දර්ශන හා දෙබස් මගින් වැරදි ආදර්ශයන් සමාජයට ලබා දෙන බවටත් කාන්තාව පිළිබඳ සමාජයේ පවතින ප්‍රතිරූපයට හානි සිදු වන බවටත් චෝදනා එල්ල කර තිබුණා. විශේෂයෙන් ආර්. බාල්කී අධ්‍යක්ෂණය කළ Made For Each Other චිත්‍රපටයේ නීනා ගුප්තා රංගනයේ යෙදෙන මිත්තණියගේ චරිතයේ අඩංගු වූ “වාහනයක් මිලදී ගැනීමට පෙර ධාවන පරීක්ෂණයක් (Test drive) කරන්නේ නම්, විවාහයට පෙර ලිංගික ගැලපීම පරීක්ෂා නොකරන්නේ මන්දැයි” සිය මුණුබුරාගෙන් විමසන දෙබස මහත් ආන්දෝලනයක් ඇති කර තිබුණා. එහිදී, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීනා ගුප්තා කියා සිටියේ, ඇයට මෙම චරිතය භාර ගැනීමට ලිංගිකත්වය පිළිබඳ සමාජයේ පවතින පසුගාමී ආකල්ප හේතු වූ බවයි. කුඩා කල සිටම කෙදිනක හෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් සිය මව ඇය සමග කතා බහ කර නොමැති බවත්, අවම වශයෙන් ඔසප් වීම පිළිබඳ හෝ දැනුම්වත්භාවයක් නොතිබූ බවත් ප්‍රකාශ කර සිටියා. සමාජයේ පවතින මතය අනුව දරුවන් බිහි කිරීම සහ සැමියාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම කාන්තාවගේ රාජකාරිය (Duty) වී ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළ ඇය, සමාජය ලිංගිකත්වය පිළිබඳ දැනුම්වත් වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නේ සිය පුද්ගලික ජීවිතයේ දී ඇය මුහුණ දුන් අවස්ථාවන්ද උපුටා දක්වමින්.

මේ වන විටත් කාන්තාව හා ලිංගිකත්වය යන මාතෘකාව ඔස්සේ සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමට සමත් වී ඇති Lust Stories 2 හි කෙටි චිත්‍රපට 4 අතුරින් ආර්. බාල්කීගේ චිත්‍රපටය හැර අනෙකුත් චිත්‍රපට බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් ව තිබූ අතර, කොන්කෝනා සෙන් ශර්මාගේ සිනමා ආමන්ත්‍රණය වැඩි වශයෙන් අගය කර තිබෙනු දක්නට ලැබුණා. කාජොල්, නීනා ගුප්තා, තිල්ලොත්මා ශෝමේ සහ අමෘතා සුභාෂ් යන ශිල්පිනියන්ගේ රංගනයන් සඳහා ද ඉහළ ප්‍රතිචාර හිමිව තිබුණා. කෙසේ වෙතත් Lust Stories පළමු චිත්‍රපටය එහි දෙවැන්නට වඩා ප්‍රශස්ත මට්ටමක පැවති බවටයි බහුතර මතය වී තිබුණේ. එලෙස ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වන Lust Stories 2 චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා දින පහක් අවසාන වනවිට IMDB දර්ශකයේ 7.3 ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ඇති අතර, Rotten Tomatoes හි 31% ක ප්‍රතිචාරයක් ලබා තිබුණා.

උමේෂ් ද සිල්වා