සුපිරි කොලිවුඩ් නිලි නයන්තාරා ප්‍රධාන චරිතය නිරූපණය කරන Annapoorani: The Goddess of Food දමිළ චිත්‍රපටය, Netflix විකාශය අරඹා දින කිහිපයකින් හින්දු භක්තිකයින් විසින් දක්වන ලද විරෝධය හමුවේ ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.

හින්දු බ්‍රාහ්මණ පවුලක තරුණියක් සිය පවුලේ සිරිත් විරිත් ආගමික ගැටළු නොතකමින් සුපවේදිනියක වීමට උත්සාහ කරන ආකාරය පිළිබඳ කතාවක් රැගත් Annapoorani චිත්‍රපටය හින්දු විරෝධී චිත්‍රපටයක් ලෙස සඳහන් කරමිනුයි හින්දු භක්තිකයින් විසින් ඊට විරෝධය එල්ල කර ඇත්තේ.

හින්දු තරුණියක මුස්ලිම් තරුණයෙකු හට ආදරය කිරීම, හින්දු තරුණිය විසින් මස් මාංශ ආහාර පිසීම, ආහාර පිසීමට පෙර ඉස්ලාම් ආගමික වතාවත් (Namaaz) සිදුකිරීම හා බුර්කාවක් පැළඳගෙන සිටීම යනාදී දෑ මගින් හින්දු ආගමික මතවාද වලට නිග්‍රහ වන බව පවසා හින්දු ආගමිකයන් විසින් චිත්‍රපටයට විරෝධය දක්වා තිබෙනවා. සිනමාහල් වල මිශ්‍ර ප්‍රතිචාර ලබමින් තිරගත කෙරුණු චිත්‍රපටය පසුගිය දා Netflix හි විකාශය ආරම්භ කිරීමත් සමඟ මෙම විරෝධය උත්සන්න වී ඇති අතර, ඒ අනුව, විකාශය අරඹා දිනකිහිපයකින් චිත්‍රපටය ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.

මෙයට අමතර ව, නිළි නයන්තාරා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව මධ්‍ය ප්‍රදේශ් හි පොලිස් පැමිණිල්ලක් සිදු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.