ප්‍රහසන ශිල්පී නතාෂාගේ ප්‍රකාශයක් පාදක කරගනිමින් රටේ ආගම්වාදය, ජාතිවාදය සහ වර්ගවාදය ඇවිලෙන ආකාරයෙන් ප්‍රචාර කරගෙන යන හිරු දෙරණ සහ දසත ලංකා, මාධ්‍යවේදියා යන චැනල්වලට විරුද්ධව චින්තන ධර්මදාස, ජයනි අබේසිංහ සහ රොහාන් සමරජීව යන අය රැඩිකල් මැද සාමූහිකය සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද උදෑසන පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

එම පැමිණිල්ල පහතින්.

*********************************************

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ.

මහත්මාණෙනි,

ජාතිභේද ආගම්භේද ඇතිකරමින් බෞද්ධ ජනතාව කුපිත වන ආකාරයෙන් මාධ්‍ය හැසිරවීම පිළිබඳවයි.

නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රහසන අංගයකින් කුඩා කොටසක් ගෙන එය රටේ ජාතික ආගමික නොසන්සුන්තාවයක් ඇති කරන අයුරින් බෙදා හැරීමේ සංවිධානාත්මක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ජනතාව කුපිත වන්නේ නතාෂා ඉදිරිපත් කළ ප්‍රහසනය දැකීමෙන් නොව ෆේස්බුක් පිටුමගින් සහ ප්‍රධාන රූපවාහිනී නාලිකා මගින් බෞද්ධ ජනතාව අතර හිත් රිදවීම් ඇති කරන ස්වරූපයෙන් බෙදා හරින මෙම සංස්කරණය කළ වීඩියෝ කොටස දැකීමෙනි. ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරලීමේ අරමුණ ඇතිව ‍ මෙම පිරිස් කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලිය.

නමුත් මේ බෞද්ධයන්ගේ සිත් රිදවන මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැත. දසත ලංකා, මාධ්‍යවේදියා යන පිටු මගින් මූලිකවම මෙසේ බොදුණුවන්ගේ සිත් පෑරෙන ආකාරයෙන් ප්‍රවෘත්ති පළ කළ අතර අනතුරුව දෙරණ සහ හිරු නාලිකාද මෙම ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරන ආකාරයේ ප්‍රවෘත්ති විකාශය කිරීම ආරම්භ කලේය.

නතාෂා පිළිබඳ මෙම ප්‍රවෘත්තිය වගකිව යුතු ප්‍රධාන රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය කළ අන්දම වගකීම් විරහිත වෙනවා පමණක් නොව පිළිකුල් සහගතය. මෙම ප්‍රහසනය නරඹා ඇති පිරිස ඉතාම සුලුතරයක් වන අතර රූපවාහිනී පුවත් මගින් ඉතා පහත් අන්දමින්, ජනතාව කුපිත කරමින් මුදාහරින ලද මෙම විස්තරය දැක ඇති පිරිස ලක්ෂ ගණනකි.

බුදුන්ට නිගා කළ කත’

‘බුදුන්ට අපහාස කළ කාන්තාව’
ආදී වශයෙන් නතාෂා ගැන දෙරණ, හිරු ආදී රූපවාහිනී නාලිකා මෙන්ම ලංකාදීප ආදී පුවත්පත්ද තමන්ට උවමනා අයුරින් ආගම්වාදය උත්සන්න කරමින් පුවත් පළකරන ලදී. තවමත් නතාෂා බුදුන්ට අපහාස කර ඇතැයි කිසිදු අධිකරණයකින් තීන්දු කර නැත. එය තවත් කවුරුන් විසින් හෝ ඉදිරිපත් කළ පැමිණිල්ලක් පමණි.

එවන් පරිසරයකදී බුදුන්ට අපහාස කිරීමක් සිදු වී ඇති බව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම පැහැදිලිවම ආගමික නොසන්සුන්තාවයකට පැහැදිලි අනුබල දීමකි. එමෙන්ම එය අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑමකි.

ඉහත කී ෆේස්බුක් පිටු සහ මෙම මාධ්‍ය අතර දැනුවත්ව ක්‍රියාත්මක වන සැලසුමක් පවතීදැයි සැකයක් මතුවෙයි. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් බැට කා, ආර්ථිකයේ අවසාන අඩියට වැටී සිටින අප රටේ තවත් මෙවැනි ගැටුම් ඇති වීමට ඉඩ දිය නොහැක. මෙවන් පුවත් මවමින්, බෞද්ධ ජනතාවගේ සිත් කුපිත කරවන අයුරින් ඒවා ඉදිරිපත් කරමින් මෙම මාධ්‍ය ආයතන සහ ෆේස්බුක් පිටු හැසිරෙන නින්දිත ස්වරූපය වහාම නතර කළ යුතුය.

මෙම මාධ්‍ය නාලිකා මගින් තවමත් තමන්ගේ ප්‍රවෘත්තිවල විශාල කාලයක් ලබා දෙමින් නතාෂා එදිරිසූරිය ගැන දිගින් දිගටම මෙම පුවත් වාර්තා කරන්නේ ජනතා ආතතිය තවත් වැඩි කරවීමේ අරමුණිනි.

මේ රජය සැබවින්ම ජාතිවාද ආගම්වාද ඇති කරන පිරිස්වලට විරුද්ධ නම් ප්‍රථමයෙන් කළ යුත්තේ යම් පුවතක් ආගම්වාදී ස්වරූපයකින් රාමු කරමින්, ඒවා බෙදා හරින මාධ්‍යවලට තමන්ගේ වගකීම සිහිපත් කරදීමයි.

ඉහත කී ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය සහ ෆේස්බුක් පිටු පහතින් එකින්‍ එක දක්වා ඇති අතර ඒවාට සබැ‍දෙන ලින්ක්ද ඒ සමග අමුණා ඇත.

මෙම පිළිකුල් සහගත මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් මෙම නාලිකාවලට එරෙහිව නොපමාව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මෙයට,
රැඩිකල් මැද සාමූහිකය