ොලිවුඩ් සිනමා රසිකයින් ඇඟිලි ගනිමින් බලා සිටි කොලිවුඩ් සුපිරි නළු තලපති විජෙයි රංගනයෙන් දායක වන LEO චිත්‍රපටය පසුගිය 19 වනදා සිට ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළා. කොලිවුඩ් සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් පළමු දින ඉපයූ වැඩිම ආදායමට හිමි වාර්තාව තමා සතු කරගත් LEO, 2023 වර්ෂයේ ඉන්දියානු චිත්‍රපටයක් මුල් දින ඉපයූ වැඩිම ආදායමට හිමි වාර්තාවටද (ඉන්දියානු රුපියල් කෝටි 132.5) හිමිකම් කීවේ, ඉන්දියානු රුපියල් කෝටි 129.1 ක ආදායමක් වාර්තා කළ Jawan චිත්‍රපටය තබා තිබූ වාර්තාව අභිබවමින්.

අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ්ගේ Lokesh Cinematic Universe (LCU) හි තෙවන දිගහැරුම ලෙස හඳුන්වා ඇති මෙම චිත්‍රපටය නිවේදනය කළ දින සිටම තිරගත වනතුරු රසිකයින් පසු වූයේ නොඉවසිල්ලෙන්. ජනප්‍රිය කොලිවුඩ් නිලි ත්‍රීෂා වසර 15කට පසු විජෙයි සමග රංගනයෙන් එක් වීමත්, බොලිවුඩ් සුපිරි නව සංජේ දත් ප්‍රතිවීර චරිතයෙන් එක් වීමත් එම ආකර්ෂණය කිහිප ගුණයකින් වැඩි කිරීමට හේතු වුණා. වරින් වර පෝස්ටර නිකුත් කරමින් විවිධ පුවත් මවමින් සහ පූර්ව ප්‍රචාරක පටය මගින් නිකුත් කිරීමට පෙර සිටම රසික උද්දීපනයේ (Hype) හිනිපෙත්තටම රැගෙන ඒමට LEO ප්‍රචාරණය සමත් වූවායැයි කියතොත් එය අතිශයෝක්තියක් නෙවෙයි. David Cronenberg විසින් රචිත “A History of Violence” කෘතිය පදනම්ව 2005 දී නිර්මාණය වූ A History of Violence සිනමා පටයේ ආභාසයෙන් නිර්මාණය කරන බව ප්‍රචාරය වීමත් සමඟ රසිකයින් අපේක්ෂා කළේ භීෂණයෙන් පිරි සර්ව සම්පූර්ණ ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒත් ඇත්තටම LEO චිත්‍රපටයට රසිකයින් බලාපොරොත්තු වූ අකාරයේ චිත්‍රපටයක් වන්නට හැකි වුණාද යන පැනයේ නම් පොඩි ගැටළුවක් තිබෙනවා.

Leo: Bloody Sweet ලෙස නම්කර තිබූ චිත්‍රපටය ආරම්භක දිනයේ වාර්තාගත ආදායමක් වාර්තා කළද රසිකයින්ගෙන් හිමිව තිබුණේ මිශ්‍ර ප්‍රතිචාරයක්. Lokesh Cinematic Universe (LCU) හි තෙවැන්න ලෙස නම් කර තිබූ LEO එහි පළමු හා දෙවන චිත්‍රපට වූ Kaithi සහ Vikram චිත්‍රපට වලට ආයාසයෙන් සම්බන්ධ කරන්නට උත්සාහ කර ඇති බවක් දකින්නට ලැබුණා. ප්‍රචාරණයේදී ඉස්මතු කළ තරමි දරුණු ගණයේ චිත්‍රපටයක් නොවීම නිසා තලපති විජේයිගෙන් කුරිරු සටන්කාමියෙකු දකින්නට අපේක්ෂා කල රසික ප්‍රජාව මඳක් කනස්සල්ලට පත්ව ඇති බවයි ඔවුගේ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ. ලෝකේෂ් කනගරාජ්ගේ සිනමා පටයක විශේෂයෙන් දක්නට ප්‍රේක්ෂකාගාරය උමතුකරවන ප්‍රධාන චරිතයේ Mass entrance දක්නට නොලැබීම ද මෙහි දී කැපී පෙනුනා. විචාරකයින් පෙන්වා දුන්නේ මෙය LCU කොටසක් ලෙස නොව A History of Violence චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස නම් කොට ඉදිරිපත් කළා නම් මීට වඩා සාර්ථක වනු ඇති බවයි. කෙසේ වෙතත් Kaithi සහ Vikram චිත්‍රවලට වඩා ක්‍රියාදාම කොටස් (Action Sequences) පසුපසින් තිබූ බව නම් කැපී පෙණුනා.

චිත්‍රපටයේ විජෙයි ගේ රංගනය ඔහුගේ පසුගිය චිත්‍රපට සමඟ සංසන්දනය කිරීමේදී ඉහළ මට්ටමක තිබූ බව කිය යුතුමයි. Antony Das සහ Harold Das යන චරිත වලට පණ පොවන සංජේ දත් සහ අර්ජුන්ගේ ද රංගනය ප්‍රශංසනීය තත්වයක තිබූ බව නොකියාම බැහැ. කොලිවුඩ් චිත්‍රපටයක දක්නයට නොලැබෙන ආකාරයේ ඉහළ මට්ටමේ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග භාවිත කර තිබූ LEO චිත්‍රපටය එම හේතුව නිසාම ඇතැම් ජවනිකාවල ස්වභාවික ගුණයද අභිබවා ගොස් තිබෙනු දකින්නට ලැබුණා. ඒවාගේම සුපුරුදු ලෙසම අනිරුද් රවිචන්ද්‍රන්ගේ සංගීතය සහ පසුබිම් සංගීතය LEO ඉහළටම ඔසවා තබන්නට සමත් වී තිබෙනවා.

බැලූ බැල්මට විදේශ රටවල රූගත කරන්නට ඇති බව හැඟුනත් LEO හි රූගත කිරීම් සිදු කර තිබුණේ චෙන්නායි, තමිල්නාඩු සහ කාශ්මිර් ප්‍රදේශ ආශ්‍රිතවයි. ඉන්දියානු රුපියල් කෝටි 350කට ආසන්න වියදමකින් නිශ්පාදනය වී ඇති LEO චිත්‍රපටය Seven Screen Studio නිෂ්පාදනයක්. LEO තිරගත වීම ඇරඹූ සති අන්තයේම හොලිවුඩයේ “ලියෝ” එනම් ලියනාඩෝ ඩිකැප්‍රියෝ රඟන” Killers of the Flower Moon” චිත්‍රපටයද තිරගත කිරීම ආරම්භ කළ අතර, එය බොක්ස් ඔෆිස් හි විජෙයිගේ LEO ට අභියෝගයක් වූ බව පෙනෙන්නට නැහැ. එපමණක් නොවේ එම සති අන්තයේදීම නිකුත් වූ ටයිගර් ෂ්රෝෆ් රඟන GANAPATH බොලිවුඩ් චිත්‍රපටයද LEO හමුවේ අන්ත පරාජයකට මුහුණ දුන්නා. නිකුත් වූ සති අන්තයේ ලෝක බොක්ස් ඔෆිස් වාර්තාවල තෙවන ස්ථානයට පැමිණීමට LEO සමත් ව තිබුණේ පිලිවෙලින් “Killers of the Flower Moon” හා “Taylor Swift: The Eras Tour” යන චිත්‍රපටවලට පමණක් පසුපසින් සිටිමින්. නමුත් නිකුත් වී පළමු දින 4 තුළ ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ Killers of the Flower Moon ලබාගත් අමරිකානු ඩොලර් මිලියන 44ක ආදායම අභිබවා අමරිකානු ඩොලර් මිලියන 48.5ක ආදායමක් ලබා ගැනීමට සමත් වූ LEO කොලිවුඩ් චිත්‍රපටයක් ඉන්දියානු රුපියල් කෝටි 200,300,400 වාර්තා කළ අවම දින ගණන ට හිමි වාර්තා සියල්ල තම නම ඉදිරියේ සටහන් කර ගැනීමටද සමත් වුණා. තවමත් ප්‍රදර්ශනය වන ශාරුක් ඛාන් රංගනයේ යෙදෙන Jawan චිත්‍රපටයට අභියෝගයක් වෙතැයි අපේක්ෂා කල Leo: Bloody Sweet ආරම්භයට සාපේක්ෂව ලබන ආදායම කෙමෙන් අඩුවන ආකාරයක් පෙනෙන්නට ඇත්තේ එයට තව කොපමණ දුරක් යා හැකි වේවිද යන පැනය ඉතිරි කරමින්.

උමේෂ් ද සිල්වා