හොලිවුඩ්හි රචකයින් 11,000 කට අධික සාමාජික පිරිසක් නියෝජනය කරන ඇමරිකානු ලේඛක සංසදය (The Writers Guild of America) විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වැඩ වර්ජන‍යෙන් තාවකාලිකව ඉවත් වීමට ඔවුන් තීරණය කර ති‍බෙනවා.

නිර්මාණ කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මැයි 02 වන දා ආරම්භ කළ එම වැඩ වර්ජනය සඳහා ජුලි 14 වන දා සිට චිත්‍රපට නළු නිලියන් සහ රූපවාහිනී සහ රේඩියෝ ශිල්පීන්ගේ සම්මේලනයද (The Screen Actors Guild-American Federation of Television and Radio Artists) එක්වුණා. ඇමරිකානු ලේඛක සංසදය සහ චිත්‍රපට හා රූපවාහිනී නිශ්පාදකයින්ගේ සන්ධානය (Alliance of Motion Picture and Television Producers) අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවය ගිවිසුමකට එළඹීමට ඊයේ (24) එකඟ වී ඇති අතර, ඒ අනුව, දින 146ක් තිස්සේ පැවති එම වැඩ වර්ජනයෙන් තාවකාලිකව ඉවත් වීමට ඇමරිකානු ලේඛක සංසදය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, චිත්‍රපට නළු නිලියන් සහ රූපවාහිනී සහ රේඩියෝ ශිල්පීන්ගේ සම්මේලනය තවදුරටත් වැඩ වර්ජනයේ යෙදී සිටින බවයි වාර්තා වන්නේ.