ජෛව විවිධත්වය අනුව උණුසුම් ස්ථානයක් (Hotspot) ලෙස සැළකෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා ඩයගම ප්‍රවේශපත් කවුළුව ඔක්තෝම්බර් 28වැනිදා විවෘත කිරීමට නියමිතය.

මෙහි ඉදිකිරීම් සඳහා අනුග්‍රහය සපයන්නේ ටෝකියෝ සිමෙන්ට් ආයතනය විසිනි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ජනප්‍රිය ජාතික උ්‍යානයක් වන අතර, මේ වර්ෂයේ ජුනි මාසය වනතෙක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට පැමිණි දෙස් විදේස් සංචාරකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහක් පමණ වේ.

ඩයගම ප්‍රවේශයෙන් හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වන සංචාරකයන්ට උද්‍යානය තුළ සංචාරය කිරීමට ස්වාභාවික මංපෙත් භාවිත කළ හැකිවන්නේ පාගමනින් සහ පාපැදි මගින් පමණි.

මුලුමනින්ම ස්වාභාවික මංපෙතක් වන මෙම මාර්ගයේ වාහන භාවිත කිරීමට ඉඩ ලබානොදෙන අතර, මෙම මාර්ගය පරිසර හිතකාමී ස්වාභාවික මංපෙතක් ලෙස ක්‍රියාත්මක වේ.

ඩයගම මාර්ගය විවෘතවීමත් සමග හෝර්ටන් තැන්නට මාර්ග 03කින් පිවිසීමට හැකියාව ලැබේ.

ඔහීය සහ පට්ටිපොල මාර්ගයෙන් පැමිණෙන සංචාරකයන්ට, ඩයගම මාර්ගයෙන්ද පැමිණ හොර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමේ අවස්ථාව උදාවන අතර, එය සංචාරකයින්ට පහසුවක් වේ.

ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුළුවල පවත්නා අනවශ්‍ය තදබදයද මගහරවා ගැනීමටද මෙමගින් අවස්ථාව ලැබේ.

හොර්ටන්තැන්න ජාතික උද්‍යනයේ පිහිටි ලෝකාන්තය,චිමිණි පොකුණ,බේකර්ස් ඇල්ල,කිරිගල්පොත්ත සහ තොටුපල කන්ද සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ලෙස හැදින්විය හැකිය.

හොර්ටන්තැන්න ජාතික උද්‍යානයටම ආවේණික වු සත්ව හා ශාක විශේෂ රාශියක් පවතින අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා සියල්ල ආරම්භ වන්නේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයෙනි.