රටේ වර්තමාන ගැටලු සහගත තත්ත්වය හමුවේ ළමා අපයෝජන වර්ධනය වීමේ අවදානමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නිරීක්ෂණය වී ඇතැයි එහි සභාපති උදය කුමාර අමරසිංහ ඊයේ (1) පවසා ඇත.

2023 ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා හැටියට නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

ළමයින් පාසල් හැර යන තත්ත්වයක් උද්ගත වීම, අඛණ්ඩව පාසල් නොයැවීම් ඉහළ යාම, මවුවරුන් විදේශගත වීම, පවුල් ආරවුල් සහ මවුපියන් දික්කසාද වීම වැනි ගැටලු ඉහළ යාමේ ප්‍රවණතාව මත මෙම අවදානම මතුව ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.

රටේ වර්තමානයේ උද්ගතව ඇති සමාජ, ආර්ථික තත්ත්වය හමුවේ ළමයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු යැයි පවසන හෙතෙම ළමා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන සියලු පාර්ශව මෙම සිදුවීම් ගැන සංවේදී වී අප්‍රමාදව කටයුතු කිරීම අත්‍යවශ්‍ය යැයි එහි සඳහන් කර තිබේ.

ඉන්ටර්නෙට් අධ්‍යාපනය මත පදනම්ව ළමයින් ඉන්ටර්නෙට් වෙත වැඩිපුර යොමුවීම තුළ ඍණාත්මක ප්‍රතිඵල බහුලව වාර්තාවෙමින් ඇතැයි ද ඉන්ටර්නෙට් මගින් සිදුවන ළමා අපයෝජනවල වර්ධනයක් දකින්නට ඇතැයි ද අමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

එම නිසා මෙම තත්ත්වය පිළිබඳව පාසල් පද්ධතිය දැඩි අවධානය යොමු කළ යුතු යැයි සභපතිවරයා අවධාරණය කරයි.

කෙසේ වෙතත් “සියල්ලට වඩා දරුවන් වටී”, මැයෙන් 2023 ලෝක ළමා දින සැමරුම උත්කර්ෂවත් ලෙස සැමරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු යොදා ඇතැයි අමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.