තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ ඡන්ද දායකයින් හට, තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දෙදින අතිරේක දින දෙකක් ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ලබා දී තිබූ පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් හට මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇති.

අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ලබාදී ඇති අතිරේක දින දෙක තුළදී ද යම් හෙයකින් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් ක්‍රියාත්මක නොවන බවත් ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා ද එම ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවත් මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර තිබෙනවා.