අද (30) බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ප්‍රහසන ශිල්පිණියක වූ නටාෂා එදිරිසූරිය නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනයක් සිදු කරන්නැයි කොටුව මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගයක් අත්හිටුවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුනු අතර
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වූ සම්පත්. පී. අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

නටාෂා එදිරිසූරිය නමැත්තිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කරුණු පළ කළේ යැයි චෝදනා කරමින් සිංහ ලේ සංවිධානය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්ත්‍රත්වරයා විසින් මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතා සම්බන්ධයෙන් අධිකරණයට අපහාස සිදු කර තිබේදැයි විමර්ශනයක් සිදු කරන ලෙස රහස් පොලිසියට නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කරනු ලැබුවේය.

මෙම නියෝගයෙන් අගතියට පත් තරිදු ජයවර්ධන මහතා විසින් එම නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබුණි.

ඒ අනුව මහාධිකරණයේ නියෝගය ප්‍රතිශෝධනය කොට තමන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විමර්ශන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.