ජීවිතය නම් ‘සිදුවීමට’ නිර්මාණාත්මක නිර්වචන සපයන්න දාර්ශනිකයන්ට පුළුවන්. ඇතැම් නිර්වචන නිසරුයි, ඍණාත්මකයි. ජීවිතය එපා කරවනසුලුයි. ඒ සමහරුන්ට අනුව ජීවිතය විහිළුවක්, ඛේදවාචකයක්. එහෙත් ඇතැම් දාර්ශනික සංකල්පනා තියෙනවා, ඒවා ඉතාම ධනාත්මකයි. ජීවත් වීමේ ආශාව වඩවනසුලුයි.

මෑතකදී ජනප්‍රිය වූ සේනක බටගොඩගෙ මේ ගීතයට විෂයය වෙන්නෙ ජීවිතය පිළිබඳ අන්න එබඳු සුබවාදී දැක්මක්.

සිහින මවන්නැති අහස උසට තනියම

ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර

බටගොඩ මෙහෙම ගායනා කරද්දි මට නිතැතින්ම මතක් වෙන්නෙ බොබ් මාලේව. ‘පරිපූර්ණතාවය’ පිළිබඳ අදහස් දක්වමින් මාලේ වරක් මෙහෙම කියනවා.

“සඳ පවා පරිපූර්ණ නැහැ, එහි ආවාට තියෙනවා. මුහුදත් එහෙමයි. බැලූ බැල්මට ලස්සන වුණාට පතුලට වෙන්න අඳුරු යි. ඒ වගේම ලුණු රසයි. පාරාදීසය වුණත් එහෙම නේ. අසීමිත බවයි, දුරස්ථ බවයි පමණයි.”

ඒ නිසා පරිපූර්ණත්වය සෙවීමෙන් වළකින්න කියලයි මාලේ යෝජනා කරන්නෙ. මේ ගීතයේදි බටගොඩ කරන්නෙත් ඊට සමාන යමක්. සිහින යනු පරිපූර්ණත්වය සොයාගෙන යෑමක්. එහෙත් සියල්ල උදුරාගනිපු සමාජයකදි සිහින දැකීමේ නිර්ව්‍යාජ මානව හිමිකමකින් පවා හිමිවීමට නියමිත ඉච්ඡාභංගත්වය විතරයි.

ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද

හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර

අප අවට ලෝකය විස්මිතයි, විචිත්‍රයි. වෛවර්ණ යි. එහෙත් අප වෙසෙන මේ යුගයේදී අන් කවර කලෙකටත් වඩා මනුෂ්‍ය ආධ්‍යාත්මය අඳුරුයි, මළානිකයි. එළියේ දිදුලන දිස්නය මනුෂ්‍ය ආධ්‍යාත්මය තුළින් පරාවර්තනය වෙන්නෙ නැති තරම්. ඕනෙ නම් වඩා රළු දේශපාලනික ස්වරයකින් අපට කියන්න පුළුවන් මේක සංවර්ධනයේ ගැටලුවක් කියලා. ශිෂ්ටාචාරයේ අත්වැරැද්දක් කියලත් කියන්න පුළුවන්.

ඒත් බටගොඩ අපිත් එක්ක දේශපාලනය කරන්න උනන්දු වෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඔහු අපූර්ව යෝජනාවක් කරනවා. ඒකත් ඉතාම මෘදු ස්වරයෙන්.

සිරවෙලා නැවතිලා නැතිනම්

සීමාවක

නිදහසේ ඉගිලිලා යමු

එක රෑනක

වඩාත් සුඛනම්‍ය ජීවන පැවැත්මක් වෙනුවෙන් ‘එළිය’ වෙනස් වෙන්න ඕන. එළිය කිව්වෙ සමාජය. ඒ වගේමයි ‘ඇතුළ’ත්. ඇතුළ කිව්වෙ අපේම ඇතුළාන්තය, ආධ්‍යාත්මය. ජීවිතයට බය වෙනවා වෙනුවට එය ප්‍රිය කරන්නට අප පුරුදු විය යුතුව තිබෙනවා. දුකයි දුකායි කියමින් ජීවිතයට නිග්‍රහ කරනවා වෙනුවට එය වඩාත් ධනාත්මක අයුරින් විග්‍රහ කරගත යුතුව තිබෙනවා. ඊට දයාවෙන් යුතුව සංග්‍රහ කළ හැක්කේ එවිට. ජීවිතය නම් ‘සිදුවීම’ අසිරිමත් වග වටහාගන්න පුළුවන් අපි තුළ සිදුවෙන එබඳු පරිවර්තනයකින්. හැබැයි ඒ සඳහා අපි අපේ ඇතැම් ස්වයංවාරණයන්ගෙන් නිවහල් වෙන්න ඕන. ඒ වගේම ඇතැම් පටු චින්තන කලාපයන් තුළිනුත් එළියට එන්න ඕන.

සෑම දෙයම නිම විය හැක නිමේෂයක

එහෙම වුණෝතින් මොනවා කරන්නද

බුදු දහමේ හරයත් යම් පමණකට මුසු වුණු ඉසව්වක් මේ.

‘පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ’ කියලා කිව්වෙ, ඒ ගැන හිත හිතා ළතැවෙන්න නෙවෙයි. ඒ තරම් අස්ථිර පැවැත්මක් වෙනුවෙන් ඕනාවට වඩා දඟලන්න උවමනා නැති වග මතක් කරන්න. දඟලන්න ගියාම තමයි ‘තෘෂ්ණාව’ උපදින්නෙ. තෘෂ්ණාවෙන් සකලාකාර ‘හිංසාවන්’ උපදිනවා. තෘෂ්ණාවෙනුත්, හිංසාවෙනුත් මිදුණු සමාජයක්, ලෝකයක් අපට පරිකල්පනය කරගන්න බැරි තරම් අසිරිමත්. එබඳු පරිකල්පනයකට තරම් විශිෂ්ට වෙන්නෙ මුනිවරුම තමයි.

 

ඒ අර්ථයෙන් මේ ගීය සමීප වෙන්නෙ මුනිවර අඩවියකට.

සිහින විමන්වල කවුළු පියන් ඇරුණම

අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

මේ ගීතයේ දී ‘සිහින’ යන්​න මාලේගේ පරිපූර්ණත්වයට සමාන කරන්න පුළුවන් වගේම තවත් වටයකින් තෘෂ්ණාව කියන බෞද්ධ සංකල්පයටත් ළඟයි. ආර්ථික විද්‍යාත්මකව නම් ඇඩම්ස් ස්මිත්ගෙ ‘අසීමිත අවශ්‍යතා’ න්‍යායට ගළපන්නත් පුළුවන්. බටගොඩ ඉතාම මිහිරිි ස්වරයෙන් යුතුව ඉල්ලා සිටින්නෙ අන්න ඒ සිහින විමානෙන් එළියට එන්න කියලයි.

ඒ එන පළමු ඇසිල්ලෙම අපට මුණගැහෙනවා අනන්තයට යන පාර. ඒ පාරෙදි අපි හැමෝටම, තනි තනිව නෙවෙයි, සාමූහිකව නිවන් දකින්න පු​ළුවන්.

ගීතයේ තනුව පුරාමත් විසිරිලා තියෙන්නෙ අන්න එබඳු නිවනක නිරාමිස සංතෘප්තිය.

නලින්ද සංජීව ලියනගේ