ආදර විශ්වයක දි අනුරාගය පාපයක් නෙවෙයි.අයිතියක්.ආදරය විවාහයකට පෙරළෙන කොට අනුරාගයට නිල අවසරපතක් පවා හිමි වෙනවා.එය ආදරය වර්ණ ගන්වනවා පමණක් නෙවෙයි,ජීවිතය පිළිබදව ආශාව අවුළුවනවා.සංසාරය පිළිබදව ආශාව අවුළුවනවා.දැන්ම නිවන් දකින්න ප්‍රාර්ථනා නොකරන ඕනෑම පෘථග්ජනයෙක් ඊට ප්‍රියයි.එය සිය ආත්මය වඩාත් ප්‍රමුදිත කරන අනුරාගයක් නම් වඩාත් හොදයි.
අනික් අතට අනුරාග මොහොතක් කියන්නෙ බැදීමක දීප්තිමත් බව මනින්නත් හොද නිර්ණායකයක්.විවාහයෙන් ඉක්බිති මිලින වී යාමට නියමිත ඇතැම් ආදර විශ්වයන් හි දී පළමුවෙන්ම නිවී යාමට නියමිත අනුරාගය ලු.එවන් ඉරණමකින් පීඩිත ගැහැණියක් අස්වැසිල්ලක් පතා සිය කණස්සල්ල ප්‍රිය යා හමු වේ ගෙන හැර පාන අවස්ථාවක් තමයි මේ ගීතයෙන් හදුනා ගන්න ලැබෙන්නෙ.ගැහැණියකගේ අධ්‍යාත්මයේ වඩාත් රහසිගත තැනකින් උනන මේ ශෝකී තානය ඉන්දිකා උපමාලි ගෙ හඩින් ගැයෙද්දි අප ද ඒ ශෝකයේ පාර්ශවයක් බවට පත් වෙන්නෙ නිරායාසයෙන්.
ලිංගිකත්වයට අදාළ කාරණා “පොල්ලෙන් ගහනවා වගේ” එළිපිට කතා කරන විවෘත භාවයක් ආසියාතික ගැහැණුන්ට නැහැ.ඒ නිසාමදෝ මේ ගීතයේ කථා නායිකාවත් සිය අධ්‍යාත්මික උවමනාව හෙළිදරව් කරන්නෙ ව්‍යංගයෙන් සඟවලා.
රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
රෑ මැදියම මත් වූ තොටියෝ
මෙතන මේ කියන්නෙ “ඔරු පැදීමක්” ගැනම නොවන බව දන්නෝ දන්නවා.කල් යාමෙන් “තොටියා”ට අමතක වෙලා අනුරාගය ගැහැණියගේත් අයිතියක් බව.සිය ප්‍රියාවිය හුදු අවශ්‍යතාවයක් සපුරාලන භාණ්ඩයක් බවට උෘණනය වෙලා.එහෙත් අනුරාගය කෙරෙහි වූ සිය අයිතිය සහ අවශ්‍යතාවය අමතක නොකරන්න තරම් ගැහැණිය සජීවියි.සංස්කෘතික යි.ඇරත් ඇය දන්නවා මේ නිවෙමින් තිබෙන්නේ අනුරාගයේ දීප්තිය පමණක් නොවෙයි කියා.
යටගියාවේ ශෘංගාරාත්මක සුන්දරතාවයන් ඇය ඔහු ට සිහි කැඳවනවා.ආදරෙන්.ගීතයේ පළමු අන්තරා කොටස ඇහෙන කොට,පිරිමියෙකු ගෙ පපුවට හිස තියාගෙන අතීත ස්මරණ ගැන සෙමින් කොඳුරන ගැහැණියකගේ හැඟීම්බර මුහුණ අපිට මවාගන්න පුලුවන්.
මාස් වැස්ස ඉවර වෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙලුවා මතකයි තොටියෝ
ඔරුව පෙරලුනත් ගඟ මැද
මාව අරන් නුඹ තුරුලෙට
එතෙර කළා මතකයි තොටියෝ
සිය ආත්මීය අවශ්‍යතාවයන් සන්තෘප්ත කර ගනු වස් වෙනත් පිරිමියෙක් කරා නොයන්න තරම් ඇය විනීතයි.පති භක්තියෙන් යුතුයි.රුවල් නැවකට වඩා ඇය කැමතියි පැරණි ඔරුවට.ඒත් ඇයි රුවල් නැව් දැක්කම තොටියා සසල වෙන්නෙ?බිය වෙන්නෙ?ඒ සමහර විට තමන්ගෙන් සිද්ද වෙමින් තිබෙන අඩුපාඩුව ගැන ඔහු ඉතා හොදින් දැනුවත් නිසා වෙන්න ඇති.නැත්නම් ගැහැණු ගැන බමුණු මත ඔහු ගේ හිස තුළත් ශේෂ වෙලා වෙන්න ඇති.
තොටියෙක් කිව්වාම මගේ ඔළුවෙ මැවෙන්නෙ කලබලකාරයෙක් නෙවෙයි.හදිස්සිකාරයෙක් නෙවෙයි.තමන් ගේ පාඩුවේ පැත්තකට වෙලා,ජීවිතය නම් ගඟ ගලා යන දිහා නිස්කාංසුවේ බලා සිටින මිනිසෙක්.එහෙම මිනිහෙකුට දේවල් තේරුම් කරන්න අපහසු නැහැ.එහෙම මිනිහෙක් අසංවේදීත් නැහැ.ඉතින් ඇයට ඇයි බැරි,කුමුදු පිපෙන හද එළියක නැවතත් ඔහු හා ඔරු පදින්න.
රුවල් නගා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ
නැව් නගින්න හිත නෑ තොටියෝ
නුඹෙ ඔරුවෙන් යළි දවසක
කුමුදු පිපුන හද එළියක
එතෙර යන්න ආසයි තොටියෝ
ස්ථිරයි.මේ තරම් ආදරෙන් කිව්වට පස්සෙ ඔහු ගෙ හිත උණු නොවී තියෙන්නෙ නැහැ.තමන්ගෙන් සිද්ද වෙමින් තිබෙන අසාධාරණය නොතේරී තියෙන්නෙ නැහැ.නිසැකවම ඔවුන් නැවතත් ඔරුව පදීවි.අතරමග නො ගිලේවි.එතෙරටම යාවි.
නලින්ද සංජීව ලියනගේ