අරගල සමයේ රට අරාජිකත්වයට පත් වූ අවස්ථාවේදී රට භාර ගැනීමට එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවෘත ආරාධනාවක් කළ බවත් කිසිවෙක් ඒ ආරාධනාව පිළිනොගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසා සිටියා

ඒත් සමගම ජූලී 9 වෙනිදා තමන්ගේ සේනාධිනායකයා හා පුරවැසියා ආරක්ෂා කරගන්න බැරි අවාසනාවන්ත හමුදාවක් සහ හමුදාපති කෙනෙක් සිටි රටක් භාරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් රට ඉතා හොදින් පාලනය කළ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා

අද (08) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පලකළා

“මාර්තු 31 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෙදරට ගහන වෙලාවේ එතුමා මට රාත්‍රි 8ට විතර කතා කරලා කිව්වා ගේ ළග කලබලයක් වෙනවා ගිහින් බලන්න කියලා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත මට කතා කරලා කිව්වා එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට කතා කරලා කියන්න මේ ළමයි විශාල පිරිසක් එනවා දැනගන්න ලැබුණා ඒ නිසා හමුදා රථ දාලා හරි පාරවල් බ්ලොක් කරලා තියන්න කියලා. මම ඒ වෙලාවේ හමුදාපතිතුමාට කතා කරලා මේක කිව්වම කිව්වේ “මන්ත්‍රීතුමා මේක අපේ ප්‍රශ්නයක් නෙවේ ඔබතුමාලගේ ප්‍රශ්නයක් . ඔබතුමාලගේ ආධාරකරුවන් අරන් ගිහින් පොලුවලින් ගහලා හරි මේක පාලනය කරන්න කියලා

මැයි 9 රාත්‍රිය වන විට බිහිසුණු තත්වයක් ගොඩනැගුණා . ජාතික ආරක්ෂාව බිදවැටුණා.රට අරාජික උණාම රට භාරගන්න ආරාධනා කළා කවුරුත් භාරගත්තේ නෑ. අපේ වාසනාවට ජනාධිපතිතුමා අගමැතිකම භාරගත්තා. ජූලී 9 වෙනිදා තමන්ගේ සේනාධිනායකයාව ආරක්ෂාකරගන්න බැරි ,පුරවැසියාව ආරක්ෂාකරගන්න බැරි ,දේපල ආරක්ෂා කරගන්න බැරි අවාසනාවන්ත හමුදාවක්, අවාසනාවන්ත හමුදාපති කෙනෙක් ,අවාසනාවන්ත ආරක්ෂක ප්‍රධානින් හිටපු රටක් අපිට තිබුණේ. එහෙම රටක් අරගෙන ජනාධිපතිතුමා අවුරුදු දෙකක් හොදින් රට පාලනය කළා”