ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පක්ෂයෙන් පිට අයෙකු වුවහොත් නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු තෝරා ගත යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් විසින් කැඳවා තිබූ පක්ෂ රැස්වීමේ දී ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තම පක්ෂයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව ඔහු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය මගින් මතුකල ප්‍රශ්න වලට පිලිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ,

“අද දින මැතිවරණ කමිටු පිහිටු වීම, කාර්යාල දැමීම, කැන්වසින් යාමට පටන් ගැනීම වැනි දෑ ගැන සාකච්ඡා කලා. අද දින පොහොට්ටුවේ අපේක්ෂකයා පිලිබඳව සාකච්ඡා කලේ නැහැ. ඒ පිලිබඳව සාකච්ඡා කල යුතු වන්නේ දේශපාලන මණ්ඩලයයි. මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කලාට පසු අපිට ගැලපෙන රටට ගැලපෙන අපේක්ෂකයකු අපි තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන, අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනෙක් විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුල අපේ පක්ෂයට තිබෙන නැන පිලිබඳව අපි තීරණය කල යුතු වෙනවා. අපි එල්ලිලා දේශපාලනය කරන්න කැමති නැහැ…වර්ථමාන ජනාධිපතිතුමා ගැන යම් කිසි පාර්ශවයක් ඉරක් ඇදගෙන ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා එක්ක ගමන යනවා. අපි තීන්දු ගන්නේ පක්ෂයක් විදිහට මිසක් පෞද්ගලිකව නොවෙයි. ඒ නිසා අපි පෞද්ගලිකව ඉරි ඇදගන්නේ නැහැ. පක්ෂයක් විදිහට අපි තීන්දු තීරණ ගන්නවා. අපි හිතනවා ඒ අවස්ථාවේ දී පක්ෂය අපි වෙනුවෙන් හිට ගනී කියලා.

ජනාධිපතිතුමා සමඟ තිබුණ ආණ්ඩු පක්ෂයේ රැස්වීමට මම සහභාගී වුනේ නැහැ. කමිටු පත් කරනවා. අද නැහැ කියනවා. හෙට නැහැ කියනවා. ජනාධිපතිවරණ ගැසට්ටුව අද ගහනවා. හෙට ගහනවා කියලා කියනවා. ලබන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරවනවා කියලා ප්‍රචාරයක් යනවා . ඒ වගේ කටකතා ප්‍රචාරය වෙනවා. අපි කටකතා විශ්වාස කල යුතු නැහැ. අපි විශ්වාස කල යුතු වන්නේ මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශයයි. ඉදිරියට ඒමට නියමිත වන්නේ ජනාධිපතිවරණයයි. අපි ඒකට සූදානම් විය යුතුයි.පොතේ හැටියට තියෙන්නේ ජනාධිපතිවරණය.මැතිවරණ කොමිසමට කල් තියෙනවානේ හදිසියක් නැතුව ඇති.”