අම්බලන්ගොඩ ප්‍රදේශයේ මල්ශාලා හිමිකරුවෙකු තියුණු ආයුධයකින් පහර දී ඊයේ (ජූනි 25) රාත්‍රී කාලයේදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ, වයස අවුරුදු 46ක් වූ දකුණ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකි.

පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අවමංගල රථයේ රියැදුරු අසුන තුළ සිටියදී ඔහුගේ හිසට පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙම මල්ශාලා හිමිකරු තම අවමංගල ශාලාවේ සේවය කරන සේවකයෙකු රැගෙන ඒම සඳහා ඊයේ රාත්‍රියේ ආවාසවත්ත නමැති ප්‍රදේශයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෙම ඝාතනය වී ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ මල්ශාලා හිමිකරුගේ මෘත ශරීරය මෙ වන විට බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර මල්ශාලාවේ හිමිකරු රැගෙන ඒමට ගිය සේවකයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුගේ ඇදුම් බෑගය ද අවමංගල රථය තුල තිබි හමුවූ බව පොලිසිය සඳහන් කළේ ය.

මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.