අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමෙ ජනාධිපතිවරණය අ​ද(05) පැවැත්වේ.

ඒ අනු​ව මෙරට වේලාවෙන් අද (05) පස්වරු 5.00ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික බව විදෙස් වාර්තාවල සඳහන් වන අතර අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කලින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 75ක් පමණ දැනටමත් සිය ඡන්දය ප්‍රකාශ කර ඇතැයි, එරට බලධාරීන් පවස‍යි.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස තරඟ වදියි.

මීට අමතරව, චේස් ඔලිවර්, ජිල් ස්ටයින් සහ කොර්නල් වෙස්ට් තෙවැනි පාර්ශව සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනාධිපතිවරණයට එක්ව සිටින බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

“ස්වින්ග් ස්ටේට්ස්” ලෙස හැඳින්වෙන, අමෙරිකාවේ ප්‍රාන්ත හතක බලය තහවුරු කරගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් පසුගිය මාස කිහිපයේ දැඩි සටනක නිරත වුණා.

අවසන් ප්‍රචාරණ කටයුතු සිදුවන ඊයේ (04) දිනයේදී කමලා හැරිස් ඇගේ අවධානය පෙන්සිල්වේනියා ප්‍රාන්තය වෙත යොමු කර තිබූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් නෝත් කැරෝලීනා ප්‍රාන්තයේදී සිය ප්‍රචාරණ කටයුතුවල නිරත විය.

මෙම ජනාධිපතිවරණ සමයේ අමෙරිකාවේ වාර්තා වුණු කැපී පෙනෙන සිදුවීම අතුරින්, ජෝ බයිඩ්න් ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වී, කමලා හැරිස් නම් කිරීම සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන උත්සාහය සුවිශේෂි සිදුවිම් ලෙස පෙන්වා දිය හැකියි.