විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන අය කතානායක මහින්ද යාපා අබේවර්ධන හමුවී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මේ අනුව කතානායකවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගිය 12 වැනිදා කැඳවා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසන බව ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

කෙසේ වෙතත් එවැනි තර්ජනයක් ගැන තමාට වාර්තා වී නැති බව පොලිස්පතිවරයා විසින් එහිදි පවසා ඇති බව සඳහන්.

මේ අවස්ථාවේදී කරුණු දක්වා ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී සමහරුන් එදා ප්‍රකාශ කළේද මෙවැනි කතා බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ.

මෙම තර්ජනය ගැන දැන ගන්නට ලැබීමෙන් පසු විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට ලිපි කිහිපයක් පසුගිය කාලයේදී යොමු කර ඇතත් ඒවාට පිළිතුරක් හෝ නොලැබුණු බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉන්දියාවේ ගුජරාටියේදී අත්අඩංගුවට ගත් අයිඑස් ත්‍රස්තයන් පිරිසක් විපක්ෂ නායකවරයාට ඇති මෙම තර්ජනය ගැන අනාවරණය කර තිබූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී වැඩිදුරටත් පවසා තිබු බවට ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් සොයා බලා විපක්ෂ නායකවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන්නැයි අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙන බව පැවසේ.

විපක්ෂ නායකවරයාට ඇති තර්ජනය පිළිබඳව වාර්තාවක් වහාම කැඳවා ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා එහිදී දැනුම් දී තිබෙන බවද සඳහන්.