ක්‍රිකට් වංශකතාවේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම පිට දඟ පන්දු යවන්නා ලෙස අවිවාදිතව හැඳින්විය හැකි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් තැනුණු “800”  චිත්‍රපටය ඔක්තෝබර් මස 06 දින සිට ලොව පුරා තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවා. චිත්‍රපටය නිකුත් වී මේ වන විට මසකට ආසන්න කාලයක් ගත වුවත්, බලාපොරෙත්තු වූ තරමේ ප්‍රේක්ෂක ආකර්ෂණයක් නම් එයට ලැබෙනු දකින්නට ලැබුණේ නැහැ. දමිළ, හින්දි සහ තෙලුඟු භාෂාවන්ගෙන් තිරගත වූ “800”  සිංහල බසින් හඬ කවා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළ ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ පවා “800”  චිත්‍රපටය අසාර්ථක වී තිබුණේ පුදුම සහගත ලෙසයි. බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට රැසක් සමඟ ඉන්දියානු වෙළඳපොලේ තරඟ කිරීම බරපතල අභියෝගයක් වන්නට ඇති බව සාධාරණ වුවත්, මාස ගණනාවක් පුරා ආදායම් වාර්තා තබමින් “කදිර දිව්‍ය රාජ” වැනි චිත්‍රපටයක් තිරගත වන පසුබිමක “800” මෙලෙස ප්‍රතික්ෂේප වීම පුදුමයට කරුණක්. එහෙනම් “800”  අසාර්ථක වුණේ කොහොමද?

“නිවේදනය කළ මොහොතේ සිටම ලාංකිකයින් තුළ 800” චිත්‍රපටය ගැන තිබුණේ විශාල උනන්දුවක්. මොකද “800” කියන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ගැන තැණුනු පළවෙනි චිත්‍රපටය. ඒ වගේම මුරලි කියන්නේ ජාති භේදයකින් තොරව මුළු රටම එක වගේ ආදරය කළ, දක්ෂතාවයෙන් රට ජයග්‍රහණය කරවූ ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් විදියට සලකන ප්‍රේක්ෂකයින් මුරලිගේ චිත්‍රපටය දකින්න පසුවුණේ නොඉවසිල්ලෙන්. ඒ වගේම චිත්‍රපටයේ මුරලිගේ චරිතය සුපිරි කොලිවුඩ් නළු විජේ සේදුපති නිරූපණය කරන බව නිවේදනය කිරීමත් සමඟ චිත්‍රපටයට තිබුණු ආකර්ෂණය දෙගුණ තෙගුණ වුණා. ඒත් තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධීන්ගේ විරෝධතා මත විජේ සේදුපති චිත්‍රපටයෙන් ඉවත් වීම රසිකයින්ගේ කණගාටුවට හේතු වුණ බව නම් පැහැදිලියි. චිත්‍රපටයේ කටයුතු ද වරින් වර කල් දැමීමත් රසිකයින්ගේ තිබුණු උනන්දුවද අඩුවී යාමට හේතුවක් වුණා. කෙසේ වෙතත් සම්මානනීය නළු මධුර් මිත්තල් ප්‍රධාන චරිතය ලෙස යොදාගනිමින් නිර්මාණය කළ “800” චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු පවා සිදුවුයේ ඇල්මැරුණු ආකාරයටයි. සචින් තෙන්ඩුල්කාර් සහ සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මුදා හැරුණු අතර, එහිද විශේෂත්වයක් තිබුණේ නැහැ. එපමණක්  නොවෙයි ශ්‍රි ලාංකිකයින් බොහෝ දෙනෙකු චිත්‍රපටය නැරඹීමට තිබූ ආසාව අත්හැරීමට පූර්ව ප්‍රචාරක පටය හේතු වූ බව නම් කිව යුතුමයි.  ඇත්තෙන්ම චිත්‍රපටයේ අන්තර්ගතයට හාත්පසින්ම වෙනස් අර්ථයක් එහි  නිරූපණය වී තිබුණා. මුරලිගේ ක්‍රීඩා ජීවිතයේ අභියෝගයන්ට වඩා ජාතිකත්වය හේතුවෙන් ඔහු මුහුණ දුන් අභියෝග පූර්ව ප්‍රචාරක පටයේ ඉස්මතු ව තිබීම ජාති භේදයකින් තොරව මුරලිට ආදරය කල රසිකයින්ගේ සිත් රිදවන්නට හේතුවන්නට ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය පිළිබඳ මුරලි දැරූ ස්ථාවරය හා ඔහුගේ දේශපාලන අදහස් හේතුවෙන් “800” වෙත තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දියාවේ සාර්ථක වීමට ඇති හැකියාව පිළිබඳ ව මුල සිටම ඇති කලේ ප්‍රශ්නාර්තයක්. එවැනි පසුබිමක නිශ්පාදකයින්ට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා වැඩි වශයෙන් ඉලක්ක කර ප්‍රචාරණ කටයුතු සිදු කරන්නට තිබුණා. සාපේක්ෂව කුඩා වෙළඳපොළක් වුවත් “800” අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුළ සාර්ථකව තිරගත විය යුතුව තිබූ චිත්‍රපටයක්. “800” සඳහා ඉන්දියාව තුළ පමණක් තිර 1000 ක් වෙන් වූ අතර, ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඉන්දියාවෙන් පිට තිර 100ක ප්‍රදර්ශනය කෙරුණත්, ආරම්භක දිනයේදී “800” හිමි කර ගෙන තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 0.20 ක ආදායමක් පමණයි. ඉන්දියානු රුපියල් කෝටි 10කට අධික පිරිවැයකින් නිශ්පාදනය කළ 800 චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි 1 සිමාව පසු කිරීමට ද සතියක කාලයක් ගතවී තිබූ අතර, ඒ වන විටත් සිනමා ශාලාවලින් චිත්‍රපටය ඉවත් කිරීමට පටන්ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

ඒ වාගේම චිත්‍රපටයේ චරිත සඳහා නළු නිලියන් තෝරා ගැනීමද යහපත් තත්වයක තිබුණේ නැහැ. මධුර් හැරුණු කොට ජනප්‍රිය නළුවෙකු චිත්‍රපටයේ සිටියානම් ඒ එම්. නසාර් පමණයි. මධුර් යනු මුරලිගේ චරිතයට “හොඳම තෝරාගැනීම” නොවුණත් ඔහු චරිතයට උපරිම සාධාරණයක් කළ බව කිව යුතුම වනවා. 800” හි චරිතයක් සඳහා වූ හොඳම තෝරා ගැනිම ලෙස හැඳින්විය හැක්කේ  “අර්ජුන රණතුංගගේ” චරිතය සඳහා යොදාගත් කිං රත්නම් පමණයි. රත්නම්, රැවින් පමණක් නොව රංගනයෙන් ද නායක අර්ජුන රණතුංග ඉතා හොඳින් තිරයේ ප්‍රතිනිර්මාණය කිරීමට සමත් ව තිබුණා. සනත්, කළුවිතාරණ, අරවින්ද තබා ෂේන් වෝන්ගේ චරිතයට හෝ යන්තමින් වත් රූපයෙන් සමාන නළුවෙකු යොදාගන්නට උත්සාහ නොකලේ ඇයි දැයි සිතාගන්නට බැහැ. එමෙන්ම කිසි ලෙසකින් වත් අනුකරණය කළ නොහැකි මුරලිගේ අසාමාන්‍ය පන්දු යැවීමේ විලාශයේ නුහුරු බව මග හරින්නට සංස්කරණයේ හෝ දෘෂ්‍ය ප්‍රයෝගවල සහායක් ලැබී නොතිබුණු බවත් හොඳින් කැපී පෙනුණා. මේ ආකාරයේ වෙනත් චිත්‍රපටවලදී සත්‍ය දසුන් (Real Footages) යොදාගැනීම සිදු කළත් මෙම චිත්‍රපටයේ එවැනි උත්සාහයක් ගෙන තිබුණේම නැති වීම ද පුදුමයට කරුණක්. ක්‍රිකට් තරඟ මෙන්ම බෝම්බ පිපිරීම් වැනි අවස්ථාවන්වල සත්‍ය දසුන් යොදාගන්නට කටයුතු කළා නම් එය චිත්‍රපටයේ අන්තර්ගතයට ප්‍රබල බලපෑමක්කළ හැකිව තිබුණා. ප්‍රේක්ෂකයින්ගේ මතකයේ සදාකාලිකව රැඳෙන සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවෙයි. චිත්‍රපටයේ කුමන අඩුපාඩු තිබුණත්, රොස් එමර්සන් විනිසුරු විසින් මුරලිගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බව චෝදනා කළ අවස්ථාව චිත්‍රපටයේ ඉතාමත් හොඳින් ප්‍රතිනිර්මාණය කර තිබූ අතර, එහිදී කිං රත්නම්ගේ රංගනය අගය කළ යුතුයි. ඒ වාගේම Ghibran ගේ පසුබිම් සංගීතය “800” හි තවත් අගය කළ යුත්තක් ලෙස සඳහන් කළ හැකියි. නමුත් වාර්තා ස්වරූපයේ ගලායාමක් දකින්නට තිබූ චිත්‍රපටයට ඉන් විශාල වෙනසක් සිදු කිරීමට හැකි වූවාද යන්න ගැටළු සහගතයි. විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයද පැවතුනේ දුර්වල මට්ටමකයි. පැහැදිලි අඩුපාඩු පෙනෙන්නට තිබුණත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන එම්.එස් ශ්‍රීපතිගේ අධ්‍යක්ෂණයේ සාධනීය ලක්ෂණ කිහිපයක්ම දක්නට ලැබුණා. විශේෂයෙන් ජාතිවාදී ගැටුම් ඇති වන අවස්ථාවන් ප්‍රතිනිර්මාණය කිරීමේදී ඉන් වැරදි අර්ථකතනයක් ප්‍රේක්ෂකයා වෙත ගම්‍ය නොවන්නට වගබලා ගැනීම ඉතා අගය කළ යුතුයි. එලෙස නිර්මාණය වූ “මුරලිගේ නොකී කතාව” වන “800” වර්ගවාදයේ හා ජාතිවාදයේ අතුරු කතාවක් ලෙස හැඳින්වූවත් වරදක් නැහැ.

ජනප්‍රිය ක්‍රීඩා චරිත ඇසුරින් නිර්මාණය වූ Bhaag Milka Bhaag, MS. Dhoni, Mary Com, Shabhash Mithu, 83 වැනි චිත්‍රපට ඉන්දියානු සිනමාවේ සුලබයි. එම චිත්‍රපට හා සැසඳීමේදී සිනමාත්මක  බව රැක ගැනීමටත් ප්‍රේක්ෂක ආකර්ෂණය වෙනුවෙනුත් යථාර්තයෙන් ඉවතට ගොස් නිර්මාණය කෙරෙන එවැනි චරිතාපදාන චිත්‍රපට අතර යතාර්ථයේ සිටිමින් නිර්මාණය කර ඇති 800 හොඳ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නට මැලි විය යුතු නැහැ. මොකද 800 කියන්නේ සාමාන්‍ය ලෙස තැනුණත් අසාමාන්‍ය කතාවක් රැගත් අපූරු චිත්‍රපටයක්. ඉතින්, තවත් කලකට ක්‍රිකට් ලොවට පහළ වෙතැයි අපේක්ෂා කරන්නට නොහැකි ආකාරයේ මේ අසාමාන්‍ය ශ්‍රී ලාංකික ක්‍රිඩකයාගේ චරිතාපදාන චිත්‍රපටය තවමත් නරඹා නැතිනම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය නරඹන්නැයි ඔබට අප ආරාධනා කර සිටිනවා.

උමේෂ් ද සිල්වා