අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන බව වාර්තා වේ.

ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම නමින්) පලකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුයි.

ඒ අනුව,  නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වැනි දින හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව-කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව දැනුම් දී තිබේ.

එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ” අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම” යනුවෙන් සඳහන් කළ යුතු බව සදහන් කර ඇත.