ඊයේ (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා

ඒ සම්බන්ධයෙන් 2024.05.22 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබූ අතර එහිදී අදාළ සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීමට යෝග්‍ය බවට තීරණය කර තිබුණි.

ඒ අනුව ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශ වල නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අදාළ ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා එම මූලික කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කර ඇත.

එම මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම වෙනුවෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා