ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද 10% කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු පවසා ඇත.

මෙම බදු ඉහළ දැමීම අද (22) සිට ක්‍රියාත්මක වන බව ඇමැතිවරයා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද ඔහු  වැඩිදුරටත් පවසා ඇත.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේය පවසා ඇත.

පහුගිය කාලයේ දී මෙරටට ආනයනය කරනු ලබන කිරි පිටි විශාල වශයෙන් වැඩි වීමක් තිබ්බා. කොවිඩ්  වගේ වසංගතයට ඉස්සෙල්ලා. අපේ රට බංකොලොත් භාවයට පත් වුණාට පස්සේ කිරිපිටි ආනයනය කිරීම විශාල වශයෙන් අඩුවුනා. නමුත් පසුගිය මාස කීපය තුළ නැවත වරක් කිරිපිටි ආනයනය කිරීම විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. ලෝක වෙළෙඳ පොළේ පහුගිය කාලය කිරිපිටි මිල අඩු වීම තුළ පසුගිය මාස කිහිපය තුළ විශාල වශයෙන් සාකච්ඡා කරලා මිල අඩු කිරීම් කරන්න කටයුතු කරලා මිල පහතට ගෙන ආවා. හැබැයි තවදුරටත් ඒ අය විශාල ලාභයක් ලබා ගන්න නිසා අපි මුදල් අමාත්‍යාංශයට කිව්වා මේ සඳහා බදු පැනවීමක් කරන්න මොකද ඒ මුදල පාරිභෝගිකයාට ලබා දෙන්නේ නැත්නම් ඒක ආණ්ඩුවට අරගෙන බද්දක් වශයෙන් ගන්න කටයුතු කරන්න ඕන කියලා. එනිසා මුදල් අමාත්‍යාංශයේ විසින් ඊයේ තීන්දුවක් ගත්තා  මධ්‍යම රාත්‍රියේ ඉඳලා වරාය සහ ගුවන් තොටුපල බද්ද සියයට දහයක් කිරිපිටි සඳහා අය කරන්න. ඒ නිසා අද ඉඳලා  කිරිපිටි සඳහා ඒ බද්ද අය කරනවා. හැබැයි ඒ කිසිම සමාගමකට මේ බද්ද නිසා කිරි කිරිපිටි මිල වැඩි කරන්න අවස්ථාව ලබා දෙන්නේ නෑ. වෙනදා අමාත්‍යවරයා වශයෙන් මම ඒ වගකීම එහි වගකීම භාර ගන්නවා. මිල වැඩි කිරීමකට අවස්ථාවක් නෑ. නමුත් බදු මුදල අපි රජයට ලබාගන්නවා. ඒකෙන්  බලාපොරොත්තු වෙනවා එකක් රජයට ආදායම ලබා ගන්න. විශේෂයෙන්ම දේශීය කිරි ගොවියා ආරක්ෂා කරලා මොකද මේ කිරිපිටි මිල වැටුනොත් දියර කිරි සඳහා මේක බලපානවා. ඒ නිසා කිරි ගොවියා ව ආරක්ෂා කරගන්න ගමන් රජයට බදු ලබා දෙන ගමන් පාරිභෝගිකයාට කිරිපිටි මිල වැඩි නොකර ඉන්න ගත්ත තීන්දුව නිසා අවස්ථාව ලැබෙනවා.