අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ සඳහා ආර්ජන්ටිනා සෙනෙට් සභාවේ නීති සම්පාදකයින් මූලික අනුමැතිය හිමි වීම විරෝධය පාමින් බුවනෝස් අයර්ස් නුවර විශාල විරෝධතාවක් මතුව ඇති බව වාර්තා වේ.

අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට විරෝධය පාමින් බුවනෝස් අයර්ස් නුවරට රැස්ව සිටි විරෝධතාකරුවන්ව විසිරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

සෙනෙට් සභාව විසින් ගන්නා ලද මෙම පියවර මගින් ආර්ජන්ටිනාවේ මිලියන ගණනක ජනතාවට හානියක් සිදුවනු ඇතැයි පවසන පෙලපාලිකරුවන් බුවනෝස් අයර්ස් නුවර මැද පෙට්‍රල් බෝම්බ සහ ගල් ප්‍රහාරයක් එල්ල කර එක් මෝටර් රථයක් ද ගිනිබත් කර ඇති බව විදෙස් මාධ්‍යයන් වාර්තා කරයි.

එම විරෝධතා අතරවාරයේ පුද්ගලයන් කිහිපදෙනෙකු ම තුවාල ලබා ඇත.

දක්ෂිණාංශික මතධාරියෙකු වන ජනාධිපති ජේවියර් මිලේ විසින් ආර්ජන්ටිනාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ වලට අදාළව ආර්ථික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ කම්කරු අයිතීන්ට ජලය දැමීම ඇතුළත් වන අතර එම පියවරවලට වාම දේශපාලන පක්ෂ, කම්කරු සංගම් සහ සමාජ සංවිධාන විරෝධය පාමින් සිටී.

විරෝධතා මධ්‍යයේ ඡන්දයට ගැනුණු මෙම යෝජනාව සෙනෙට් සභාවේදී ඡන්ද 36-36ක් ලෙස සම වූ නමුත්, සභා ගර්භයේ ප්‍රධානියා වන උප සභාපති වික්ටෝරියා විලර්රුයෙල් විසින් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් එය සම්මත විය.