ආර්ථිකය ඍණවීමට බලපා ඇති කරුණු පිළිබඳව රජය වැඩි අවධානයක් යොමුකර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

ඒ අනුව වැඩිම අඩුවීම සිදුවී ඇත්තේ ඉදිකිරීම් කර්මාන්තයේ බවත් මේ හේතුවෙන් රජය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිකිරීම් ද්‍රව්‍ය හැකි තරම් සුලභ කර මිල අඩු කිරීමට අවධානය යොමුකරන බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

බැංකු කටයුතු සංකෝචනයවීමට බලපෑ ප්‍රධාන කාරණය පොලී අනුපාත වන අතර මහ බැංකුව මැදිහත්වී පොලී අනුපාත අඩුකිරීමට කටයුතු කරන බවත් මෙහි ධනාත්මක තත්ත්වයක් ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම වසරේ පළමු කාර්තුවට වඩා දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ හැකිළීම අඩු මට්ටමක පවතින බවත් තුන්වෙනි කාර්තුව සහ හතරවෙනි කාර්තුව ඊට වඩා හොඳ තැනකට යන්න රජය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.