මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයක් වන අතර එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයක් ද වේ.

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසින් වන අතර අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී ඇත.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී ඇති අතර ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලබාදී ඇතැයිද එම තොරතුරුවල සඳහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ පුද්ගලයන් දෙදෙනාගේ නම්ගම් ඇතුළු සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මඟින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදී ඇත.

එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් අතර එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තර කර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මඟින් තහවුරු කර ඇතැයි සඳහන්.

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට ඊයේ (23) දැනුම් දුන්නේය.

ඒ අනුව ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන්නැයි ඔවුන් ඊශ්‍රායල පුරවැසියන්ට අනතුරු අඟවා ඇත. එමෙන්ම වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම රටින් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය මෙම නිවේදනය මඟින් ඔවුන්ට දැනුම් දී තිබුණි.

මේ අතර හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදුනොකරන ලෙසත්, එම නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත.